30 January, 2017

සැරයන්වරයකු කපාකොටා මැරූ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

wijenayaka-muurdered

ජනාධිපති ආරක්ෂක අංශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ රියැදුරුලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු පොළොන්නරුව නව නගරයේ පිහිටි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවෙස තුළදී කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා (28දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි අවිවාහක තැනැත්තෙකි.

ගෙවල් බිඳුම් චෝදනාවන් හතරක් සම්බන්ධයෙන් මොහුට අධිකරණයේ විභාග වන නඩු කිහිපයක්ද ඇති බවත් මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය ඉකුත් දෙසැම්බර් මස 16 වැනි දින පස්වරුවේ සිදුව තිබිණි.

ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් රියැදුරු වූ තලවින්නේගෙදර විජේනායක (1786) මහතා පැමිණි යතුරුපැදියද මින්නේරිය වැවට දමා ගොස් තිබියදී සොයාගෙන තිබිණි. මෙම සැකකරු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවෙස කොල්ලකෑමට පැමිණි පසුව පොලිස් සැරයන්වරයා දැක ඔහුව ඝාතනය කර පලාගොස් තිබූ බවටද මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ සිට අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු නිලධාරීන් දින ගණනාවක් සිදුකළ විමර්ශනයකට අනුව මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

-චාමර අමරසූරිය, හිඟුරක්ගොඩ _ ප්‍රියා_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැරයන්වරයකු කපාකොටා මැරූ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි"

    Post a Comment