24 January, 2017

මහවැලියේ නාන්න ගොස් දිවි අහිමි වූ සිසුන් තිදෙනාගේ ඛේදාන්තය

three-students-drowed

"අපි පස්දෙනා ගෙවල්වලට නොකියා මහවැලි ගඟේ දුන්හිඳට ගියා. ගඟ දිගේ උඩහට යනකොට ගලක් ලිස්සලා තේමිය ගඟට වැටුණා. එයා අල්ලන්න සදීප පැන්නා. ඊට පස්සේ ගයානුත් පැන්නා. පස්සේ භාග්‍යයි මමයි ඒ වළට පැන්නා. පස්දෙනාම පීනන්න උත්සාහ කළා. ඒත් තුන්දෙනෙක්් ගඟ මැදට ඇදිලා ගියා. භාග්‍යයයි, මමයි ගොඩ පැත්තට පීනලා ගලක් අල්ල ගත්තා.

ගඟ මැදට ඇදිලා ගිය තුන්දෙනා බේරාගන්න කියලා කෑ ගැහුවා. පස්සේ තුන්දෙනාම නොපෙනී ගඟ පතුලට ගියා" යැයි ගම්පොළ ඇත්ගාල මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලී මියගිය පාසල් සිසුන් තිදෙනාගේ මරණ පරීක්ෂණයේදී සිද්ධියට මුහුණ දුන් එම්.දර්ශන නමැති පාසල් සිසුවා පැවසීය.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි තේමිය සුපුන් නවරත්න, චාමික සදීප සෙනෙවිරත්න හා උඩගම ප්‍රදේශයේ පදිංචි ගයාන් අමිත බණ්ඩාර යන තිදෙනායි.

මොවුන් සියලු දෙනා උලපනේ උඩගම සරණපාල විද්‍යාලයේ නව වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි වියේ පසුවූ දරුවෝ වෙති.

පන්තියේ සිසුන් පස්දෙනකු මෙසේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් තිදෙනකු 21 දින දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇත. මෙම සිද්ධිය කිසිවකුත් දැන නොමැති අතර බේරුණු සිසුන් දෙදෙනා නිවෙස්වලට පැමිණ ඒ බව පවසා නොතිබිණි.

තම දරුවන් රාත්‍රි කාලයේ නිවෙස් වලට නොපැමිණීම පිළිබඳව කලබල වූ මවුපියන් ඔවුන් ගම පුරා සොයමින් සිටියදී දහවල් එකට සිටි සිසුන් පස්දෙනා පිළිබඳ ආරංචි වී පියකු ගොස් එක් සිසුවකුගෙන් මේ පිළිබඳ අසා ඇත.

එහිදී දිවුරමින් ඔවුන් එකට නොසිටි බව එම සිසුවා හා මවුපියන් පවසා ඇති අතර කෙසේ හෝ සිසුවාගෙන් මේ බව අසාගැනීමට එම පියා සමත්ව ඇත.
ඒ වනවිට රාත්‍රි 9.00ට පමණ වී ඇති නිසා සිද්ධිය පොලිසියට දන්වා ගම්වාසීන් රාත්‍රියේම දුරකින් පිහිටි ගඟ වෙතගොස් ඇත. නමුත් කිසිදු හෝඩුවාවක් නොමැති නිසා පසුදා අලුයම සිට මොවුන් සෙවීම ආරම්භ කොට ඇත.

ඒ අතරතුර ගම්පොළ පොලිසිය මඟින් නාවික හමුදාව කැඳවා මෙම මළ සිරුරු තුනම සොයාගැනීමට කටයුතු යොදා තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිසුන්ගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී හදිසි මරණ පරීක්ෂක ආර්.එස්. කරුණාරත්න මහතා මරණ පරීක්ෂණය පැවැත්වීය.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර, හක්මන පොලිස් ස්ථානාධිපති උපාලි යාපා යන නිලධාරීන්ගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂක ඉමානුල්ලා, පොලිස් සැරයන් තුෂාර (33850), පොලිස් කොස්තාපල් වංශපුර (75177) යන නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවීම මත තවදුරටත් සාක්ෂි දුන් දර්ශනී ශිෂ්‍යාව මෙසේ කීය.

"අපි ගඟට ගිහින් නෑවා. නාලා ඉවර වෙනකොට තේමිය කීවා අපිට දුන්හිඳ බලන්න චාන්ස් එකක් එන්නේ නැහැ. ඒ නිසා උඩහට යමු කියලා. අපි ඇඳුම් ඇඳගෙන ගඟ අයිනෙන් ගල්වලින් පැන පැන උඩහට ගියා. ඒ යනකොට එක තැනකදී ගල ලිස්සලා තේමිය ගඟට වැටුණා."

සිද්ධියෙන් බේරි ඇති අනෙක් ශිෂ්‍යා ආතාවූද මුදියන්සේලාගේ සූරිය භාග්‍ය ආතාවූද මෙසේ පැවසීය.

"අපි ඇත්ගාලේ කාඩේකින් පෙති පාන් එකක් ගත්තා. ඒකත් අරන් ගඟට ගිහින් මාළු අල්ලලා ඒවා බැදලා පාන් එක්ක කෑවා. අපි හට්ටියකුත් අරන් තමයි ගඟට ගියේ. පාන් කාලා තමයි නෑවේ. නාලා ඉවරවෙලා අපි ගඟ උඩහ බලන්න යනකොට තමයි තේමිය ලිස්සලා වතුරට වැටුණේ."

මෙහිදී සාක්ෂි දුන් ගම්පොළ නාවලපිටිය බස් කොන්‍ෙදාස්තරවයකු වූ යොහාන් මධුෂංක පෙරේරා

"උඩගම ඉස්කෝලේ ළඟින් මේ ළමයි පස්දෙනා බස් එකට නැංගා. මේ අයගෙන් දෙන්නෙක් මම අඳුනනවා. මමත් ඇත්ගාලේ පදිංචි කෙනෙක්. මේ අය බස් එකට නැඟලා රුපියල් 25ක් දුන්නා. බහින තැන කීවෙත් නැහැ. ඇත්ගාලේ නතර කරනකොට මේ අය බස් එකෙන් බැහැලා ගියා."

මෙහිදී මියගිය සිසුන්ගේ මවුපියන් කිහිපදෙනෙකුද සාක්ෂි දෙනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.බී.එම්. ෆයිසාල් මහතා මෙය දියේ ගිලී සිදුවූ මරණ බවට නිගමනය කොට තිබිණි.

මෙම සිසුන්ගේ දේහයන් පෙරේදා (22දා) සවස නිවෙස්වලට ගෙනැවිත් තිබිණි.

(ගම්පොළ - මාධව බණ්ඩාර_මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහවැලියේ නාන්න ගොස් දිවි අහිමි වූ සිසුන් තිදෙනාගේ ඛේදාන්තය "

    Post a Comment