25 January, 2017

දෙමටගොඩ පාසලක රගර් සර් සිසුවකුට යකඩ බාර් එකක එල්ලා පහරදීලා

දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකුට රගර් ක්‍රීඩා කරන ලෙසට බල කරමින් වදහිංසා පමුණුවා පොලුවලින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ රගර් පුහුණුකරු ඇතුළු පාසල් සිසුන් සිවුදෙනකු දෙමටගොඩ පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දාහතර හැවිරිදි වියෙහි පසුවන මේ පාසල් සිසුවා බැට්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන බවද පොලිසිය පවසයි.

බැට්මින්ටන් ක්‍රීඩාව අතහැර රගර් ක්‍රීඩාවට පිවිසෙන ලෙස බල කරමින් ඉකුත් 20 වැනිදා (සිකුරාදා) පස්වරු 3.30ට පමණ මේ පහරදීම සිදුකර ඇති බවටද පොලිසිය සඳහන් කරයි.

මේ සිසුවා බැට්මින්ටන් ක්‍රීඩා පුහුණුවීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී එම ස්ථානයට පැමිණි රගර් පුහුණුකරු ඔහුට රගර් ක්‍රීඩාවේ යෙදෙන ලෙසට බලපෑම් කර ඇත.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රගර් පුහුණුකරු තවත් සිසුන් සිවුදෙනකු සමඟ මේ සිසුවාට පහරදී බලහත්කාරයෙන් රගර් කාමරයට රැගෙන ගොස් තිබේ.

අනතුරුව සිසුවාට යකඩ බාරයක බලහත්කාරයෙන් එල්ලා කරකැවෙන ලෙසටත් එසේ නොකරන අවස්ථාවේදී එම සිසුවාට පොලුවලින් පහරදී කෘෘරත්වයට පත්කිරීම හා වදහිංසාවලට ලක්කර ඇති බවද පොලිසිය පවසයි.

පහරකෑමට සහ වදහිංසාවන්ට ලක් වූ සිසුවා අනතුරුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 72 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුව එම විදුහලේ රගර් පුහුණුකරු වන 47 හැවිරිදි තැනැත්තා සහ වයස අවුරුදු 17, 18 යන වයස් සීමාවල පසුවන පාසල් සිසුන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් "මව්බිම" කළ විමසුමකදී විදුහල්පතිවරයා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

"රගර් පුහුණුකරු ස්වේච්ඡාවෙන් තමයි පාසලට මේ සේවය සපයන්නේ. පහරදුන් බවට පවසන සිසුවාත් එයාගේ සීයත් එක්ක ඇවිත් ගිය ඉරිදා මාව මුණගැහුණා. එදා ඒ ළමයා දහම් පාසල් ඇරිලා යන ගමන් තමයි මාව මුණගැහෙන්න ආවේ. ඒ ළමයාගේ දැන් ඔය කියන තරම් අමාරුවක් නම් පේන්න තිබ්බේ නැහැ. කොහොම වුණත් පහරදුන් බව කියූ සිසුවන්ගෙන් මම ප්‍රකාශ ලබා ගත්තා.

පහරකෑමට ලක්වූවා යැයි කියන සිසුවා තවම පාසලට පැමිණියේ නැහැ" යි විදුහල්පතිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් රගර් පුහුණුකරු ඇතුළු පාසල් සිසුන් සිවුදෙනා ඊයේ (24දා) අලුත්කඩේ අංක 2 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් පහළොස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

student-beaten

-චාමර අමරසූරිය-මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙමටගොඩ පාසලක රගර් සර් සිසුවකුට යකඩ බාර් එකක එල්ලා පහරදීලා"

    Post a Comment