23 January, 2017

‘උඹ පොලිසියේද පිංපඩි ගන්න’ රජයෙන් දෙන ඉඩමක් ගන්න පොලිසියට ගිය ආබාධිතයාට ලොක්කෙකු බැනලා

එප්පාවල පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවී ලිපියකට නිර්දේශය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කවුද උඹව එව්වේ. කොහෙන්ද උඹ පඩිය ගන්නේ, ආබාධිත උඹ පොලිසියේද පිංපඩි ගන්න. මේ නපුංසකයා ඇතුළට ගත්තේ මොකා දැයි යනුවෙන් පවසා තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී කාර්යාලයෙන් පන්නා දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බව පවසා සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා වෛද්‍ය හේතූන්මත විශ්‍රාම ලබා සිටින ආබාධිත පොලිස් නිලධාරියකු බලධාරීන් පිරිසකට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

ජනාධිපතිවරයා - අගමැතිවරයා, නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා , පොලිස් කොමිෂන් සභාව හා උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ පිළිබඳ පැමිණිලි කර ඇත්තේ එප්පාවල කැළේඅමුණුකොළය පදිංචි විශ්‍රාම ලබා සිටින ආබාධිත පොලිස් කොස්තාපල් අයි. එම්. යූ. දිසානායක මහතාය.

තමන් 1999 මැයි මස 23 වැනි දින පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු බවත් කොළඹ-කොටුව, කෙසෙල්වත්ත, පොලිස් හදිසි ඇමැතුම් අංශය, නාගරික රථවාහන පොලිසිය යන ස්ථානවල සේවය කිරීමෙන් අනතුරුව පලාලි, කෝපායි, චාවකච්චේරි, වැල්වැටිතුරය යන පොලිස් ස්ථානවල සේවය කළ බවත් එම ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා පැවැති කාලය තුළදී 2006 ජුනි 24 වැනි දින කෝපායි පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි බවත් යාපනයේ උසාවි රාජකාරි නිමවූ නිලධාරීන් රැගෙන ඒමට යෑමේදී නල්ලූර් කෝවිල අසලදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ අධිබලැති ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා යාපනය, කොළඹ ජාතික රෝහල්වල හා පොලිස් රෝහලෙහි දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබා සුවවී නැවැත සේවයට වාර්තා කළ බවත් එහි සඳහන්ය.

2011 ජනවාරි 5 වැනි දින වෛද්‍ය මණ්ඩලයන්ට ඉදිරිපත් වීමෙන් පසු 65%ක ඉපැයීමේ ශක්තිය හීනවී ඇති බැවින් රාජකාරියට නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලැබූ බවත් ඒ හේතුවෙන් ආබාධිත තමන් වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ බවත් ලිපියේ සඳහන්ය.

ආබාධිත පොලිස් රණවිරුවන් සඳහා රජය මඟින් ඉඩම් කැබැලි ලබා දෙන බව පවසා එප්පාවල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා මා හට පසුගිය දිනක ඉල්ලුම්පත්‍රයක් ලබා දුන්නා. ඒ අනුව එය සම්පූර්ණ කර ග්‍රාම සේවා නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ලබා ගෙන පදිංචි වසම භාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා පසුගියදා (18 හා 19) පොලිස් ස්ථානය වෙත ගියා.

නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයේ රැඳී නොසිටීම හේතුවෙන් 2 වැනි දින පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ගියා. එදින උදෑසන 9ට පමණ ස්ථානාධිපතිවරයා පමණක් කාර්යාලයේ රැඳී සිටියදී ස්ථානාධිපතිවරයාගෙන් අවසර ලබා ගෙන කාර්යාලයට ඇතුළු වූ පසු ඇයි ආවේ කියා ස්ථානාධිපතිවරයා ඇහුවා. මම යුද්ධයේදී ආබාධිත පොලිස් නිලධාරියෙක්, ඉඩමක් ලබා ගන්න පොලිසියෙන් දුන්න ඉල්ලුම්පත්‍රයට නිර්දේශය ලබා ගන්න ආවේ කියලා මම කිව්වා. කවුද මූ එව්වේ. කොහෙන්ද උඹ පඩිය ගන්නේ, ආබාධිත උඹ පොලිසියේද පිං පඩි ගන්න ලැජ්ජ නැද්ද නපුංසකයෝ කියා පරුෂ වචනයෙන් මහ හඬින් මා හට බැන වැදුනා. මේකා ඇතුළට ගත්තේ ඇයි පලයන් එළියට කියා මාගේ ඉල්ලුම්පත්‍රයද පොඩි කරලා විසි කර මාව කාර්යාලයෙන් එළවා ගත්තා. මා ආබාධිත වුණේ ත්‍රස්තවාදී ප්‍රදේශයක රාජකාරි කරන අවස්ථාවකදී. අප වුවමනාවෙන් ආබාධිත වූයේ නැහැ. ආබාධිත මා හට ඉඩමක් ලබා ගැනීමට තිබූ වරප්‍රසාදයද මෙයින් මඟහැරී තිබෙනවා යැයි ඒ මහතා පැවැසුවේය.

ආබාධිත පොලිස් කොස්තාපල්වරයකුට පහත් අයුරින් සැලකීම සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඒ. පී. රෝහණ අධිකාරි මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

මම ඒ අවස්ථාවේ 'බී' වාර්තාවක් කියවමින් සිටියේ. ආබාධිත පොලිස් කොස්තාපල්වරයා කාර්යාලයට ආවා. මම කිවුවා පොඩ්ඩක් වාඩි වෙන්න කියලා බෑ. බෑ. මට දැම්ම කතා කරන්න ඕනෑ කිවුවා. එපමණයි සිදුවුණේ. මම බැන්නේ නෑ. මට ඕනතරම් සාක්ෂි තියෙනවා. බැන්නේ නෑ කියලා. ඔයාට තව විස්තර ඕනනම් පස්සේ ගන්න මම ඉන්නේ සැලුන් එකේ කියමින් ඔහු දුරකතනය විසන්ධි කර දැමුවේය.

police-letter

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘උඹ පොලිසියේද පිංපඩි ගන්න’ රජයෙන් දෙන ඉඩමක් ගන්න පොලිසියට ගිය ආබාධිතයාට ලොක්කෙකු බැනලා"

    Post a Comment