29 January, 2017

එළිසබත් මහ රැජිනට නිල් මැණිකක් තෑගි දී අතුරුදන් වූ කොටිපති ව්‍යාපාරික නිමල් පතිරණ

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-1

හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා..

ආයුධයක් ගන්න කාමරේට යන්න නැගිට්ටත් මට නැගිටගන්න බැරිවුණා...

1980 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරික නිමල් පතිරණට හදිසි වාසනාවක්‌ උදා කළ දවසකි.

එදා උදේ 10 ට පමණ පැරැණි මිතුරෙක්‌ තවත් හතර දෙනකු සමඟ ඔහු හමුවීමට ආවේය.

බේබි සිංඤො නමැති මේ මිතුරා නිමල් පතිරණට මැණික්‌ ගල් ගෙනා ගල් බ්‍රෝකර් කෙනෙකි.

1979 තෙක්‌ නිතර නිතර පතිරණ හමුවී මැණික්‌ සැපයුව ද ඉන්පසු බේබි සිංඤො අතුරුදන් වෙයි.

පසුව ඔහු රක්‌වානේ පොතුපිටියේ පතලක්‌ බැස ඇති බවට පතිරණට පණිවුඩයක්‌ එන්නේය. බේබි සිංඤො අතට හොඳ ගලක්‌ හමුවුණොත් ඔහු අනිවාර්යයෙන් තමා වෙත එන බව නිමල් පතිරණ දන්නේය

එය එසේම සිදුවිය. බේබි සිංඤො එදා පැමිණ සිටියේ රාත්තල් එකහමාරක්‌ බර ගලක්‌ රැගෙනය.

"මොකක්‌ද මේක.......?" නිමල් පතිරණ ඇසුවේය.

"නිලක්‌" බෙබි සිංඤො කීවේය. මෙච්චර හොඳ ගලක්‌ ආයි මේ ආත්මෙදී හම්බ වෙන්නෙ නැහැ."

නිමල් පතිරණ ගල පිරික්‌සුවේය. මේ ආත්මයේ නොව ලබන ආත්මයේදීවත් මෙවැනි ගලක්‌ නොලැබෙන බව ඔහු සිතින් තක්‌සේරු කර ගත්තේය. "ගලට කීයක්‌ බලාපොරොත්තු වෙනවද?" ඔහු ඇසුවේය.

"අඩුම ගණනේ ලක්‍ෂ සීයක්‌වත් ඕනෑ. හරියට කපා ගත්තොත් ලක්‍ෂ පන්දාහකට එහා ඔය ගලෙන් හම්බ කරන්න පුළුවන්" ඒ බේබි සිංඤො ගේ උත්තරය ය.

නිමල් පතිරණ ගල කිරා බැලුවේය. කැරට්‌ බරෙන් නම් කැට්‌ 3250 ක්‌ එතැන විය. ගල නැවතත් පෙරළා බැලූ පතිරණ එයට යටින් ටෝච් එක ගසා මෙසේ කීවේය. "මැද පැල්මක්‌ තියෙනවා නේද?"

"මේකනෙ නිමල් මහත්තයා වැඩේ. කැරට්‌ 3250 ක ගලක්‌ ඒ බර තියාගන්නට කපන රටක්‌ නැහැනෙ. මේ ගලත් එහෙමයි.

පැල්ම තියෙන තැනින් ගල ඉරා ගන්න හැකි. ඊට පස්‌සෙ තව කෑලි කීයකට නම් මේක වෙන් කර ගත හැකිද? එක කෑල්ලකින් කෝටි කීයක්‌ නම් හොයන්න හැකිද?

"කීයක්‌ ඉරුවත් ලක්‍ෂ 100 ක්‌ නම් දෙන්න බැහැ. එහෙම දෙන්න සල්ලි මා ළඟ තියා කා ළඟවත් ඇත්තෙත් නැහැ...... නිමල් පතිරණ කීවේය. ලක්‍ෂ 30 ක්‌ දෙන්නම්..."
"හැත්තෑපහක්‌ දෙන්න." බේබි සිංඤො කීවේය.

"තිස්‌පහක්‌ දෙන්නම්."

"කෙරෙන්නම කතා කරමු නිමල් මහත්තයා..." බේබි සිංඤො ස්‌ථිර හඬින් කීවේය. පනහක්‌ දෙන්න...."

"හොඳයි හතළිහක්‌ දෙන්නම්....." නිමල් පතිරණ තම දැතේ තිබූ ගල බේබි සිංඤො අතට දෙමින් හිඳ සිටි තැනින් නැඟී සිටියේය. කතා නොකළ බේබි සිංඤො එකඟත්වය පළ කරමින් හිස සැලුවේය.

රුපියල් ලක්‍ෂ 40 කට සීයේ නෝට්‌ටු හතළිස්‌ දහසක්‌ තිබේ. පනහේ නෝට්‌ටු අසූදාහක්‌ තිබේ. නිමල් පතිරණගේ සල්ලි සේප්පුවල ලක්‍ෂ 90 කට වඩා තබිණ. ඔහු කල්පනා කළේ මේ තරම් විශාල මුදල් තොගයක්‌ බේබි සිංඤො ගෙදර ගෙන යන්නේ කොහොමද යනුවෙනි.

අන්තිමේදී බේබි සිංඤො සමඟ සාකච්ඡා කළ ඔහු බේබි අතට සත 25 ක්‌ දී ළඟම පිහිටි සිල්ලර කඩෙන් හිස්‌ හාල් ගෝනි 2 ක්‌ රැගෙන එන ලෙස කීවේය.

"ඒ මොකටද...?" බේබි ඇසුවේය. මැණික්‌ ගල් බ්‍රොකර් කෙනෙකු වූ බේබි සල්ලි විශාල ප්‍රමාණවලින් ගනුදෙනු කර තිබුණේනැත.

ඒ බැවින් විශාල මුදල් තොගයක පරිමාව හෝ විභවය ඔහුට නොතේරෙන බව නිමල් පතිරණට වැටහින.

තමා ලක්‍ෂ 40 ගෙවීමට යන්නේ රුපියල් සියයේ නෝට්‌ටු සහ පනහේ මුදල් නෝට්‌ටුවලින් කලවමේ බැවින් එතැන නෝට්‌ටු හැටදහසක්‌ පමණ විය හැකිබව ඔහු බේබි සිංඤොට පෙන්වා දුන්නේය.

අන්තිමේදී මුදල් තොගය එකක්‌ සත 10ක්‌වූ ගෝනි දෙකක බහා ඒවා උඩින් එළවළු අතුරා කටවල් හොඳින් බඳින ලදී. බේබි සිංඤො ඇතුළු පිරිස ඒවා කර තබාගෙන නික්‌ම ගියහ.

නිමල් පතිරණ එදා මැදියම් රෑ ඉක්‌මවන තුරුත් අවදිව සිට කල්පනා කළේ මැණික්‌ ගලට කුමක්‌ කරන්නේ ද යන්නය. එය එහෙමම තායි මැණික්‌ වෙළෙන්දෙකුට විකුණනවාද?, එහෙමත් නැත්නම් කැබලිවලට ඉරා කපා ඔප දමා විකුණනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට ඔහුට බැරි විය.

මේ ඔහු 1980 ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තමා අත්විඳි දේ ගැන නිමල් පතිරණ තම වචනවලින් පැහැදිලි කරන කතාවය.

"එතකොට මට වයස තිහකට වඩා නැහැ. සල්ලි - මැණික්‌ ගෙදර තියෙන නිසා මම හැම තිස්‌සෙම සූදානමින් හිටපු කෙනෙක්‌. ඔන්න එදා රෑ 12ට විතර මම සාලේ පුටුවකට වෙලා කල්පනා කළා ගලට මොකද කරන්නේ කියලා. ගෙදර ඔක්‌කොමලා නිදි. හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා. ආයුධයක්‌ ගන්න කාමරේට යන්න නැගිට්‌ටත් මට නැගිට ගන්න බැහැ. පුටුවට බැඳලා වගේ. සුදුපාට රූපෙ කතා කරන්න පටන් ගත්තා. ඕක හරි වටින මැණිකක්‌. දැන් උඹ ලංකාවේ ලොකුම කෝටිපතියා වෙලා ඉවරයි. හැබැයි ඔය මැණික හිතු මතයට කපන්න එපා. ඊට කලින් උඹ රත්නපුරේ මහ සමන් දේවාලෙට ගිහින් පූජාවක්‌ කරන්න ඕනෑ. එහෙම කියලා රූපය අතුරුදන් වුණා.."

ලැබුණු උපදෙස්‌ ඒ හැටියටම අනුගමනය කරමින් නිමල් පතිරණ සමන් දෙවි හාමුදුරුවන්ට පූජාවක්‌ පවත්වා ගල කැබලිවලට ඉරුවේය.

මේ ගලෙන් කැරට්‌ 22 ක්‌ බර කොටසක්‌ කපා ඔප දමා ළඟ තබා ගත් ඔහු ඉතිරිය එසේම කපා ඔප කර ලොව පුරා වික්‌කේය.

ඒ කාලයේ හැටියට ඔහු එයින් රුපියල් කෝටි 100 කට එහා ඉපැයිය යුතුය. එහෙත් ඔහු කීයක්‌ උපයන ලද්දේ දැයි අප දන්නේ නැත.

1981 දී බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජන ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය.
යටත් විජිත රසික සමාජයේ සභාපති ලෙස හැසිරුණ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඇය වෙනුවෙන් බොහෝ උත්සව පවත්වා කොළඹ ජනාධිපති මැඳුරේදී මැණික්‌ ප්‍රදර්ශනයක්‌ ද සංවිධානය කළේය.

විශාල සිප්පි කටුවක්‌ මැද තැබූ නිමල් පතිරණයට අයත් කැරට්‌ 22 නිල් මැණික ඔහු ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේය. තියුණු ආලෝක ධාරාවක්‌ මැණික මතට එල්ලකර එය කැපී පෙනීමට සැලැස්‌වීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි.

හරියටම එදා උදේ 10.30 ට මහ රැජන ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මන්දිරයට ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස සෑහෙන වේලාවක්‌ බලා සිටි ඇය ප්‍රදර්ශනය නැවත වරක්‌ නැරඹීමට හවස්‌ වරුවේ එන බව කියා නික්‌ම ගියාය.

හවස හතරයි පහට ඡේ. ආර්. සමඟ මහරැජන නැවත එහි ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස බොහෝ වේලාවක්‌ බලා සිට ඇය ජනාධිපති ඡේ. ආර්.ගෙන් කිසිවක්‌ ඇසුවාය.

ඊළඟ මොහොතේදී නිමල් පතිරණ දෙසට හැරුණු ඡේ. ආර්. මෙසේ විමසීය.

"නිමල් කැමතිද මහ රැජනට මේ මැණික තෑගි දෙන්න..?"
නිමල් පතිරණ දැන් කිව යුත්තේ කුමක්‌ද? මෙතැන නිමල් පතිරණ වෙනුවට ඔබ සිටියේ නම්, ඔබ කරන්නේ කුමක්‌ද?

"හොඳයි සර් අතින්ම මේක එතුමියට තෑගි දෙන්න......" නිමල් පතිරණ කීවේය.

ඡේ. ආර්. වහාම මැණික ගෙන දෝතින්ම මහ රැජනට දුන්නාය. ඇයද වෙන මිනිහකුට අයත් නිල් මැණික ඡේ. ආර්. අතින් ලබාගෙන නිමල් පතිරණට ස්‌තුති කර නික්‌ම ගියාය.

1947 දී රත්නපුරයේදී උපන් නිමල් පතිරණ මැණික්‌ පරම්පරාවකට අයත් කෙනෙකි. ඔහුගේ පියා සහ බාප්පලා මෙරට සිංහල - බෞද්ධ මැණික්‌ ව්‍යාපාරික ප්‍රජාවගේ සමාරම්භක සාමාජිකයෝ ය. අවුරුදු 22 දී මැණික්‌ ව්‍යාපාරයට ඔහු එන විට ඔහු වැනිම තවත් තරුණ සිංහලයන් පිරිසක්‌ එම ව්‍යාපාරයට අවතීර්ණ වූහ. ජිනදාස ගුරුගේ, රත්නාලෝක මුදලාලි, විජය නිල්මිණි මුදලාලි ඒ අතර වූහ.

ඇහැලියගොඩ බුලත් මුදලාලි ඔවුන් අතර යෝධයා විය. නලීම් හඡ්ජියාර් මැණික්‌ ව්‍යාපාරික මුස්‌ලිම් ප්‍රජාවගේ ප්‍රමුඛයා ය.

රත්නපුරේ ඇලෝසියස්‌ විදුහලේ උගත් නිමල් පතිරණ වයස 40 වන විට රත්නපුරේ ධනවත්ම මැණික්‌ ව්‍යාපාරිකයාව සිටියේය. ඔහුට අයත් සංචාරක හෝටලයක්‌ රත්නපුරයේ විය.

රටේ හැම තැනකම ඉඩම්ද, කොළඹ බාන්ස්‌ පෙදෙසේ ගෙයක්‌ ද ඔහුට විය. ඔහු ඒ නිවස මිලට ගත්තේ තම දරුවන් එහි පදිංචි කරවා, කොළඹ ඉස්‌කෝලවලට යෑවීමටය.

දරුවන්ගේ තනියට බිරිය ද එහි පදිංචි කළ ඔහු රත්නපුරයට වී සිය ව්‍යාපාර කටයුතු බලා ගත්තේය. සේවකයන් සමඟ මහා මන්දිරයක තනිව ජීවත් වූ ඔහු සතුව වසර සිය ගණනක්‌ පරණ මෝටර් රථ කිහිපයක්‌ සහ පුරාවස්‌තු රැසක්‌ තිබිණ.

ඔහු ජීවත් වූ මහා මන්දිරය මැද තෙත් වන ගහනයක්‌ වැනි කුඩා උයනක්‌ වූ බවත් එහි ජලජ ජීවීන් මෙන්ම දිය ගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් ද ජීවත් වූ බව මේ ලියුම්කරුට මතකය.

පසු කාලයේදී නිමල් පතිරණගේ ආර්ථිකය පරිහානියට පත් විය. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක්‌ නොලැබිණ. ඔහු සමඟ කිට්‌ටු ඇසුරක්‌ ද තිබිණි. අවසානයේදී ඔහු ගැන ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ඔහු අතුරුදන් වූ බවය.

නිමල් පතිරණ හොඳ සිහියෙන් සිටියේ නම් කවදාවත් මඟ වැරදීමකට ලක්‌වීමට හෝ ඉබාගාතේ ගොස්‌ අතුරුදන් වීමකට පත්වන කෙනෙකු නොවේ. ඔහු තරම් පිටරටවල සංචාරය කළ වෙනත් ව්‍යාපාරිකයකු සොයා ගැනීමට අපහසුය.

වරක්‌ ඔහු තමා සතු පාස්‌පෝට්‌ 87 ක්‌ මේ ලියුම්කරුට පෙන්විය.ඇතැම් විට ඔහුගේ පාස්‌පෝට්‌ මාස තුනකින් පිරී ගිය අතර ඔහු අවුරුද්දකට පාස්‌පෝට්‌ 3 ක්‌ පමණ ලබාගෙන තිබිණි.

නිමල් පතිරණගෙන් තෑගි වශයෙන් ඉල්ලාගත් කැරට්‌ 22 නිල් මැණික මාලිගයට ගෙන ගිය මහ රැජන එය චාල්ස්‌ - ඩයනා විවාහ ගිවිස ගන්නා විට ඩයනාගේ මුදුවට එබ්බවීම සඳහා තෑගි කළාය.

සුදු රත්තරනින් තැනූ එම මුදුවට ගල එබ්බවූ රන් කරුවෝ, හොඳම වර්ගයේ දියමන්ති රවුමක්‌ ගල වටා ඇල්ලූහ. මීට වසර කිහිපයකට ඔටුන්න හිමි විලියම් කුමාරයා සමඟ කේට්‌ කුමරිය විවාහ වන විට ඇයට පළඳවන ලද්දේද ඩයනා දැමූ එම මුදුවය.

එය පරම්පරාවෙන් පරම්පරාවට රාජකීය තරුණියන්ගේ අත්වල විවාහ ගිවිස ගැනීමේ මුදුවක්‌ ලෙස දිලෙනවා ඇත.

ඒ අගනා මැණික තිබෙන තැන සහ එහි නූතන හිමිකරුවන් ගැන ලොවම දනිති. එහෙත් එහි අයිතිකරු වූ නිමල් පතිරණ සිටින තැන කවුරුවත් දැන සිටියේ නැත.

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-2

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-3-diana-kate

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එළිසබත් මහ රැජිනට නිල් මැණිකක් තෑගි දී අතුරුදන් වූ කොටිපති ව්‍යාපාරික නිමල් පතිරණ"

    Post a Comment