23 January, 2017

ගයත්‍රි පැහැපත් වුනේ මෙහෙමයි

gayathri-dias

ගයාත්‍රි රූපයෙන් දෙස් විදෙස් ජය ලැබූ අවස්ථා ගැන කතා කරලාම මේ කතාබහ පටන් ගනිමු ...

මම පළමු වතාවට ඒ විදියේ අන්තර්ජාතික තරගයකට ගියේ පහුගිය නොවැම්බර් මාසේ. ඒ තරගය තමයි “මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් 2016” තරගය. රටවල් 20ක විතර තරගකාරියෝ ඒ තරගයට ඇවිල්ලා හිටියා. මට ඒ තරගයෙන් “ මිසිස් ටැලන්ට්” කියන ටයිටල් එක ලැබුණා. ලංකාවේ තරග නම් රාශියක් ජයග්‍රහණය කරල තියෙනවා. අවුරුදු කුමාරි තරග 10කට වැඩියෙ දිනල තියෙනවා. ඊට අමතරව “සිරස රූ රැජින” වුණා. “මිස් ශ්‍රී ලංකා 1995” තරගයේදී “මිස් ෆොටෝජෙනික්” වුණා.

වයස කියන්නේ කැමතිද .. ?
දැන් ඉතින් අපි නව යොවුන් තාරුණ්‍ය පහුකරපු අය

ගයාත්‍රිගේ ලොකු දුවට දැන් වයස කීයද .. ?
අවුරුදු 18 යි .

අවුරුදු 18 ක දුවෙක් ඉන්න ගයාත්‍රි කොහොමද මෙතරම් ලස්සනට ඉන්නේ.. ?
හිත පිරිසිදුව සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඉබේම රූපය ලස්සන වෙනවා. ඒ වගේම හොඳ ආහාර රටාවක් තිබිම, හොඳට ජලය පානය කරන එක රූපයට බලපානවා.

රූපලාවන්‍ය වැදගත් නැද්ද .. ?
වැදගත් ... මමත් රූපලාවන්‍ය ශිල්පිනියක්. මගේ රූපය ගැන වගේම මගෙන් රූපලාවන්‍ය කටයුතු කරගන්න එන අයගේ රූපය වැඩි දියුණු කරන්නත් මම කටයුතු කරනවා.

ඒ වගේ දේවල් සඳහා ඖෂධීය ප්‍රතිකාර ක්‍රමත් අනුගමනය කරනවාද?
සම පිරිසිදු කරන්න ෆේෂල් කරන විට යම් යම් දේවල් භාවිතා කරනවා. ඒ හැරුණම අනුමත කළ නොහැකි ඖෂධීය ප්‍රතිකාර ක්‍රම නම් අනුගමනය කරන්නේ නෑ..

කළු අයට සුදුවන්න සුදු අයට රන්වන් පාට වෙන්න යම් යම් ඖෂධීය ක්‍රම අනුගමනය කරන අය ගැන අපි අහල තියෙනවා .. ?
ඒවායින් සිදුවන අතුරු ප්‍රතිඵලත් අහලා ඇතිනේ..ආයුෂ අඩු කරන දේවල් මම නම් අනුමත කරන්නේ නෑ.. මම ඒවගේ දේවල්වලට විරුද්ධව කතා කරන කෙනෙක්.

ඒත් ගයාත්‍රි රන්වන් පාට වෙලා ඉන්නේ ඒ වගේ ඖෂධීය ක්‍රම හින්දද කියල සමහරු අහනවා ....
මගෙනුත් ඔය ප්‍රශ්නෙ අහපු අය ඉන්නවා. මම උපතින්ම සුදු කෙනෙක්. හැබැයි මම ඉස්සර ගොඩක් කෙට්ටුයි. දැන් මහතයි. කෙට්ටු කෙනෙක් මහත් වෙද්දි සම ඇදෙනවා. එතකොට හිටියට වඩා ටිකක් පැහැපත් වෙනවා. ඒ වගේම ෆේෂල් කිරීම් වගේ දේවල්වලින් මම සම පිරිසිදුව තියාගන්නවා. ඒ හින්දා මම හිටියට වඩා සුදු ඇති. ඒත් මම හිතන්නෙ නෑ මම අධික සුදකින් යුතු කෙනෙක් කියලා.

හැමෝම මේ සුදු ගැන කතා කරන්නේ කළු කෙල්ලෝ ලස්සන නැද්ද ..?
ඕස්ට්‍රේලියාවේ පදිංචි මගේ ඥාති දියණියක් ඉන්නවා. එයා කළු කෙල්ලක්. ඒත් ඒ රටේ එයාට ලොකු ආකර්ෂණයක් තියෙනවා. එයා හරි ලස්සන කෙල්ලක්. අනික සුදු හම තියෙන අයගේ හමේ තියෙන ලප කැලැල් පැහැදිලිව පෙනෙනවා. ඒත් කළු හමේ ලප කැලැල් පෙනෙන්නේ නෑ.. මම නම් සුදු කෙල්ලන්ට වඩා ලස්සන කළු කෙල්ලෝ අනන්තවත් දැකල තියෙනවා.

ඒ වුණත් අන්තර්ජාතික රූ රැජින තරගවලදි කළු හමට වඩා සුදු හමට විශේෂත්වයක් දක්වනවා..
මම ඒක පිළිගන්නේ නෑ. කළු ජාතික කාන්තාවන් පවා ඒ වගේ තරගවලදී කිරුළු පැළැන්දූ අවස්ථා තියෙනවා.

ඒත් කළු කෙල්ලෝ සුදු වෙන්න යම් යම් ඖෂධ පාවිච්චි කරලා නැති ලෙඩ හදාගත්තට සුදු කෙල්ලෝ කළු වෙන්න හදපු අවස්ථා ගැන අපි අහල නෑ ..
ඒක ඒ අයගේ ආකල්ප අනුව සිදුවන දෙයක් . සුදු කියන්නෙයි ලස්සන කියන්නෙයි දෙකක් මිස එකක් ‍නෙවෙයි. “මම කළුයි” කියල හීනමානයක් ඇති කරගෙන විහිං පසුගාමී වෙනව නම් ඒක එයා හිතන විදිය. අනික ඔය රූපය කියන දේට නිරෝගී බවයි හිතේ සැහැල්ලුවයි අත්‍යවශ්‍ය බව ගොඩක් අය හිතන්නෙ නෑ.. හිතේ කනස්සල්ලක් තියෙනව නම් රෝගී නම් එයා තුළ පෙනෙන්නේ මලානික පෙනුමක්. හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නිරෝගී අය තුළ ජවසම්පන්න බවක් ප්‍රබෝධමත් පෙනුමක් තියෙනවා. ලස්සන වෙන්න සුදුද කළුද කියන එක කිසිම ප්‍රශ්නයක් ‍නෙවෙයි.

කොච්චර ලස්සන උනත් ගයාත්‍රි පහුගිය කා‍ලේ ටෙලි නාට්‍යවල එක දිගට තරුණ නළු නිළියන්ගේ අම්මා වුණා..
මෑත කාලයේ ඉන්දියානු ටෙලි නාට්‍යවලට ලොකු අවධානයක් යොමුවුණා. ඒ නාට්‍යවල අම්මල තාත්තල ගෙදරටත් බොහොම විචිත්‍රවත් විදියට ඇඳල ඉන්න ලස්සන තරුණ අය. අපේ ටෙලිනාට්‍යවලටත් ඒ බලපෑම ආවා. තරුණ ලස්සන අය අම්මල තාත්තල වෙද්දි නව යොවුන් පිරිස පෙම්වතුන් වුණේ ඒ හින්දා. මටත් ඒ තත්ත්වය බලපෑවා. ඒත් දිගටම ඒ තුළ කොටු වෙන්න බැරි හින්දා මම ටෙලි නාට්‍ය 10 ක් විතර ප්‍රතික්ෂේප කළා. අවුරුදු 10කට පස්සේ මම “නීල පලිඟු දිය” ටෙලි නාට්‍යයේ ගිරිරාජ්ගෙයි දූලීකගෙයි ලොකු දුව විදියට රඟපෑවා. ඒකේ මගේ නංගියි මල්ලියි වන්නේ ඉෂාරා සඳමිනියි දෙනුවනුයි. මගෙ පෙම්වතා ධම්මික.

මීට පස්සේ දිගටම රඟපාන්නේ කෙල්ලගෙ චරිතද.. ?
එහෙම නෑ.. වැදගත් වන්නේ රඟපාන චරිතය මොකක්ද කියන එක. කෙල්ලද අම්මද කියන එක ‍නෙවෙයි. මම පහුගිය කා‍ලේ චිත්‍රපට 3ක්ම රඟපෑවා. ඒ හැම එකකම කෙල්ල වුණේ නෑ.. විකට චිත්‍රපටයකුත් ඒ අතර තියෙනවා.

සරල සුන්දර චිත්‍රපටයක මල් ගස් වටේ දුවන පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබුණොත් .. ?
එහෙම ආරාධනාවක් ලැබුණොත් නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. මම අවුරුදු 18ක දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.

ආරියවංශ කුලතිලක_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගයත්‍රි පැහැපත් වුනේ මෙහෙමයි"

    Post a Comment