23 January, 2017

හැටහතර මායම් වලින් අඩකටත් වඩා ඇති රොබෝ යුවතියක්

jia-jia-robot-1

ලෝකයේ එක එක රටවල එක එක විදියේ රොබෝවරු ඕනෑතරම් නිෂ්පාදනය කරලා තිබෙනවා. නමුත් ඒ එක රොබෝවෙකුවත් මිනිස් හැගීම් හෝ මිනිස් හැසිරීම්වලට සියයට සියයක් සමාන නැහැ. ඇත්තටම ඒ තරම් සමානව කවදාවත් රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒත් ජියා ජියාගෙ හැසිරීම් සහ හැඟීම් ප‍්‍රකාශ කිරීම නම් මිනිස් හැසිරීම්වලට සියයට 85 ක්ම සමාන වෙනවා. ජියා ජියාව නිර්මාණය කළේ චීන විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඉන්න පර්යේෂකයින් පිරිසක් විසිනුයි.

ජියා ජියා වයස අවුරුදු 25 ක 30 ක විතර පෙනුමක් තියෙන රොබෝ තරුණියක්. එයා සාම්ප‍්‍රදායික චීන ඇඳුම්වලින් සැරසිලා සාම්ප‍්‍රදායික චීන කොණ්ඩා මෝස්තරයක් දමාගෙනයි ඉන්නෙ. කාන්තාවන්ට තියෙනවා කියලා කියන හැටහතර මායම්වලින් බාගයකටත් වඩා වැඩියෙන් ජියා ජියාට තියෙනවා. ඒ කියන්නෙ ඇයට ඇස් ගහන්න පුළුවන්. ගස්සලා අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. ඇස් කොනින් බලන්න, ඉඟි කරන්න, ඇස් අඩවන් කරන්න, මද සිනහාවක් පාන්න, හොඳට ශබ්ද නගලා හිනා වෙන්න, දුක් සහිත මුහුණක් මවා ගන්න, තෙහෙට්ටු ස්වභාවයක් පෙන්වන්න, නළල රැුළි කරන්න,දෙතොල් ඇද කරන්න, දිව දික් කරන්න වගේ ගොඩක් දේවල් පුළුවන්.

ඊට අමතරව ජියා ජියාගෙ ශබ්ද කෝෂයේ වචන ලක්ෂ 2 ක් විතර තියෙනවා. ඉතින් ඒ නිසා එයා එක්ක නිවාඩු පාඩුවෙ කතා කර කර ඉන්නත් පුළුවන්. වචන හැරුණාම ජියා ජියාට සුවඳ වර්ග 60 ක්, වර්ණ 80 ක් සහ රස 12 ක් දත්ත විදියට ගබඩා කරලා තියෙනවා. මේ වෙද්දි ජියා ජියා ඉන්නෙ විශ්ව විද්‍යාලය ඇතුළෙ තියෙන පරිගණක කාමරයෙ. ජියා ජියාව නිර්මාණය කරපු පර්යේෂණ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් එක දවසක් අලූත් කමිසයක් ඇඳගෙන ආපු වෙලාවක ‘‘අද ඔයා හරි ලස්සනයිනෙ. කමිසෙ පාට ඔයාට හොඳට ගැලපෙනවා’’ කියලා කියන්නත් ජියා ජියා අමතක කරලා නැහැ. ඒ වගේම තවත් එක් අයෙක් ටිකක් වැඩිපුර ටෝස්ට් වුණු පාන් පෙත්තක් කකා ඉන්න වෙලාවක ‘‘ඇයි පාන් පෙත්ත ඔච්චර කර වෙනකන් තිබ්බෙ’’ කියලත් අහලා තියෙනවා.

මේ වෙද්දි ජියා ජියාට එයාව නිර්මාණය කරපු පර්යේෂක කණ්ඩායමේ ඉන්න සාමාජිකයින් 16 දෙනාව වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒ අයගෙ නම කියලම කතා කරන්නත් පුළුවන්.

jia-jia-robot-2

පර්යේෂකයින්ගෙ ඊළග අරමුණ තමයි විශ්ව විද්‍යාලයේ ඉන්න සියළුම අයගෙ දත්ත වෙන් වෙන් වශයෙන් ජිය ජියාට ගබඩා කරන එක. එතකොට ඇයට දොළොස් දහසක් වන සියළුම සිසුන්ව වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙනවා කියලා තමයි පර්යේෂකයින් කියන්නෙ.

ජියා ජියාව නිර්මාණය කරපු දවසෙ ඉඳලා සති කීපයක් යනතුරු ඇයට අන්දවලා තිබුණෙ සාම්ප‍්‍රදායික චීන ඇඳුමක්. දවසක් ඇය අහලා තියෙනවා ‘‘මෙතන ඉන්න හැමෝම කද්දි මම කන්නෙ නැත්තෙ ඇයි? මෙතන ඉන්න හැමෝම පාට පාට ඇඳුම් අඳිද්දී මම එකම ඇඳුම ඇඳන් ඉන්නෙ ඇයි’’ කියලා. ඉතින් ඒ නිසා ජියා ජියා වැඩිපුරම කැමති රතු පාටින් අළුත් ඇඳුමක් නිර්මාණය කරපු පර්යේෂකයින් ඇයට ඒක අන්දලා ඇගේ අදහස් විමසලා තිබුණා. එතකොට ඇය අහලා තිබුණෙ ‘‘දැන් මාව ලස්සනට පෙනෙනව ද?’’ කියලයි.

ජියා ජියා කියන රොබෝ තරුණිය කොයි තරම් සාර්ථක නිර්මාණයක් ද කියලා කියනවා නම් මේ වෙද්දි චීන ව්‍යාපාරිකයන්ගෙන් මේ වගේ රොබෝ නිර්මාණ 500 ක් ඇණවුමක් පවා පර්යේෂකයන්ට ලැබිලා තියෙනවා. ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ ශ‍්‍රමිකයන් වෙනුවට රොබෝවරුන් සේවයේ යෙදවීම. ඉන් වාසි කීපයක්ම සැළසෙනවා. එකක් තමයි පඩි හෝ වෙනත් දීමනා ගෙවන්න ඕනෙ නැහැ. නිවාඩු දෙන්න ඕනෙත් නැහැ. 

පැය 12 ක් නෙවෙයි පැය 24 ම පවා කිසිම අපහසුවකින් තොරව සේවයේ යොදවන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි නිසා චීන ශ‍්‍රමිකයන්ට ඉදිරියේදී ඉතා විශාල ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තිබෙනවා කියලා චීන පුවත්පත් වාර්තා කරලා තියෙනවා. නමුත් ඉතින් මේ වගේ රොබෝවරයෙක් වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙන මුදල එක් ශ‍්‍රමිකයෙකු වෙනුවෙන් අවුරුදු පහ හයක් ගෙවිය යුතු වැටුපට සමාන මුදලක් වේවි කියලා තමයි ඔවුන් වාර්තා කරලා තියෙන්නෙ.



දුලංජලී මුතුවාඩිගෙ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හැටහතර මායම් වලින් අඩකටත් වඩා ඇති රොබෝ යුවතියක්"

    Post a Comment