22 January, 2017

සමලිංගික අයිතිවාසිකම් හා GSP +

-සංවාදයට විවෘතයි

-මවු කුසක්‌ තුළ සමලිංගිකයන් පිළිසිද ගන්නේ මෙහෙමයි

gay-rights

ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් යුරෝපා කොමිසම මගින් ලබාදෙන ජී එස්‌ පී ප්ලස්‌ සහනය ලබාගැනීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් විවිධ අදහස්‌ පසුගිය කාලය තුළ දේශපාලන හා විවිධ වේදිකාවල කතාකරනු දක්‌නට ලැබුණි. තැනින් තැන පැවති විවිධ කසුකුසු සියල්ල පුපුරා ගියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් 1842 දී ශ්‍රී ලංකාවේ නීතියට එකතුවූ පාදඩ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම හරහාය. 

මෙය ඉදිරිපත් කිරීමට ප්‍රථමව ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්‌තලයක්‌ ලෙස ඉදිරිපත් වූයේ 1842 දී ශ්‍රී ලංකාවේ නීතියට එකතුවූ පාදඩ ආඥා පනත සංශෝධනයට ලක්‌කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපරාධයක්‌ ලෙස සලකන සමලිංගිකත්වය නීතිගත කිරීමට අදාළ කැබිනට්‌ පත්‍රිකාවක්‌ විදේශ ඇමතිවරයා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මේ සමඟ දේශපාලන වේදිකාවේ, සිවිල් සංවිධාන ජාලය තුළ, මානව හිමිකම් ක්‍රියාධරයින්, විවිධ සමාජජාලා වෙබ් අඩවි පුරා විවිධ අර්ථකථන ඉදිරිපත් වනු දැකිය හැකි විය. 

ඒවායෙන් බොහෝමයක්‌ අදහස්‌ බහුතරයක්‌ වූ විෂම ලිංගිකයන් විසින් සුළුතරයක්‌ වූ සමලිංගික හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට අපහාස කරන ආකාරයෙන් හා තවදුරටත් ඔවුන්ට එරෙහිව හිංසනය පුළුල් කරන ආකාරයේ ඒවා වීම ගැඹුරින් සලකා බැලිය යුතුය. මේ සියල්ල සළකා බැලීමේදී පැහැදිලිවන්නේ සමලිංගිකයන්ට එරෙහිව පවතින නීති මොනවාද? ඔවුන් කවුරුන්ද යන්න පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වන බවයි. 

වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවිය හැකි කායික, මානසික හෝ ආධ්‍යාත්මික සම්බන්ධතාවයක්‌ නීතියෙන් තහනමට ලක්‌කිරීමට හා අපරාධයක්‌ ලෙස සලකා දඬුවම් ලබාදීමට විෂම ලිංගික සමාජය සූදානම්වීමද මානුෂීයව සිතා බැලිය යුතු කරුණකි. සමලිංගිකත්වය නැතහොත් සමසෙනෙහස්‌භාවය ඉතිහාසය පුරා කතා බහට පත්වූ මාතෘකාවක්‌ සේම විවිධාකාරයෙන් පුද්ගලයන්ට අපහාස කිරීමට අවශ්‍ය වූ අවස්‌ථාවලදී සාමුහික ආකාරයෙන් දූෂණයටද ලක්‌වූ මාතෘකාවකි. 

මෑතකදී ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ප්‍රසිද්ධ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස ප්‍රකාශ කළේ සමලිංගික චර්යාවන් වනචාරී හැසිරීම්වලට සමාන ලෙස සැලකිය යුතු බවයි. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෑතකදී ප්‍රකාශ කළේ දෙවියන් වහන්සේගෙන් සමාවක්‌ ලැබිය නොහැකි ආකාරයේ වරදක්‌ සමලිංගික හැසිරීම්වල පවතින බවයි.

පාදඩ ආඥා පනත යනු සිඟමනේ යෙදෙන්නන්, ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්, සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන් (උපත ලැබූ ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකයන් ලෙස හැසිරෙන අය) හා එසේ යෑයි සැක කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා වර්තමානයේදී පොලීසිය විසින් භාවිතා කරන අවියක්‌ විනා එම පනත මගින් කිසිම ආකාරයකට සමලිංගිකත්වය ආවරණය නොවන බව බව මාධ්‍යවේදීන් විසින් නොදැන සිටීම කනගාටුවට කරුණකි. 

ඉහතින් දැක්‌වූ සංසිද්ධීන් මගින් පෙනී යන්නේ සුළුතර ලිංගික ප්‍රජාව යනු කවුරුන්ද, ඔවුන් කරන්නේ මොනවාද, ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ මොනවාද යන්න පිළිබඳ සාමාන්‍ය සමාජයේ තබා සමාජ සංවර්ධනයට දායකවන වෘත්තිකයන් හා උගතුන් අතර ද පැහැදිලි දැනුමක්‌ හෝ අදහසක්‌ නොමැති බවයි. මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ සමලිංගිකයන් යනු කවුරුන්ද, ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ මොනවාද හා ඒ සඳහා සමාජය විසින් අත්‍යවශ්‍යයෙන් ඇති කළ යුතු ප්‍රතිසංස්‌කරණ මොනවාද යන්න පිළිබඳ පැහැදිලි කිරීමයි.

සමලිංගිකත්වය ඉතිහාසය පුරා සාකච්ඡාවට භාජනය වන්නේ පුරුෂයන් දෙදෙනකු හෝ කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවන ලිංගික ආකර්ෂණයක්‌ය යන පදනම මත පිහිටාය. මෙම පදනම මගින් සිදුකරන්නේ ගැහැණිය හා පිරිමියා විසින් තම අනාගත වර්ගයා බෝ කිරීම, මානව සම්බන්ධතාවන්හි පුළුල් පැතිකඩක්‌ ලෙස පවුල්ට ඇති පිළිගැනීම හා පවුලක්‌ ලෙස ගොඩනැඟීමට පුද්ගලයන්ට ඇති අයිතිය හා වුවමනාව හුවාදැක්‌වීමයි. ගැහැණියක්‌ හා පුරුෂයෙකු අතර ඇතිවන කායික සම්බන්ධතා හා එහි ප්‍රතිඵලයක්‌ ලෙස දරුවන් බිහිවීම හා සමාජ හා සංස්‌කෘතික කාර්යභාරයන් සමාජානුයෝජනය කිරීමේ පදනමයි. 

එහෙත් සෑම ජනගහණයකම මෙම පදනම මත පිහිටීමට අපොහොසත් වන ප්‍රජාවක්‌ ද සිටියි. සමහර අවස්‌ථාවලදී විවාහ වීමට හෝ දරුවන් ඇතුළු පවුලක්‌ සෑදීමට අකමැති විෂම ලිංගික පුද්ගලයින් ද සිටිය හැකිය. ශ්‍රී ලංකාවේ නම් දිනකට ගබ්සාවන් 800 ක්‌ පමණ සිදුවෙතැයි සමාජවිද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි කර ඇති නිසා එසේ සිදුකරන විෂම ලිංගික පුද්ගලයන් ද සිටිය හැකිය. එමෙන්ම ඉපදුණු විගස දරුවන් කුණුකූඩවල දමා යන, මහමඟ දමා යන විෂම ලිංගිකයන්ද සිටිය හැකිය. සෑම තත්පර හැටකට වතාවක්‌ ගැහැණියක්‌ දූෂණය කර විෂම ලිංගික පිරිමින්ද එසේ දූෂණයට ලක්‌වන විෂම ලිංගික ගැහැණුන්ද සිටිය හැකිය. දිනකට වයස අවුරුදු 14 ට අඩු දියණියන් දූෂණය කරන විෂම ලිංගික පුරුෂයන්ද සිටිය හැකිය.

පිටකොටුව බෝ ගස යට, නුගේගොඩ බෝ ගස යට, කොළඹ ඩීන් පාරේ සිට තරු පන්තියේ හෝටලවල ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් සමග යන විෂම ලිංගික පුරුෂයන්ද සිටිය හැකිය. ඒ අතරතුරදී දෙමාපියන් හා සමාජය මගින් ඇතිකරන පීඩනය නිසා බලහත්කාරයෙන් විවාහ කර දී පසුව දික්‌කසාද වන හෝ සියදිවි නසාගන්නා සමලිංගික ගැහැණුන් හා පිරිමින් ද සිටිය හැකිය. දූෂණය කිරීම්, දික්‌කසාදවීම්, හිංසනයට- අපහාසයට ලක්‌කිරීම් යනාදියෙන් සමන්විත වූ විෂම ලිංගික මානව ක්‍රියාකාරකම් ඇතුළත සමලිංගිකත්වය අසම්මත දෙයක්‌ යෑයි පැවසීමද විහිළුවක්‌ විය හැකිය. 

කෙසේ නමුත් සෑම සමාජයකම සමලිංගික හා විෂම ලිංගික මිනිසුන් අරගල කරමින්, අයිතිවාසිකම් ඉල්ලමින් ජීවත් වේ. අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය සමලිංගිකත්වය නිර්වචනය කරන්නේ ගැහැණියක්‌ තවත් ගැහැණියකට හෝ පුරුෂයෙක්‌ තවත් පුරුෂයකුට කායිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව ඇතිවන ආකර්ෂණයක්‌ ලෙසයි. එහෙත් ලිංගික කාර්යයන් මත පදනම්වෙමින් ඒ ඔස්‌සේ පුද්ගල සම්බන්ධතා සොයන අපට ඔවුන් තුළ ඇති මානසික හා ආධ්‍යාත්මික ආකර්ෂණය අමතකවී ඇත.

වර්තමානයේදී සමලිංගිකත්වය පිළිබඳව අධ්‍යයනය කරන අය විසින් එයට හේතු පැහැදිලි කිරීමේදී පුද්ගලයකු සමලිංගික වීමට බලපාන ප්‍රධාන කරුණු තුනක්‌ ගෙන හැර දක්‌වයි. යම් පුද්ගලයකුගේ මොළයේ වම් අර්ධය හා එය ශරීර අංගවලට ප්‍රතිචාර දක්‌වන ආකාරය අතර සෘජු සම්බන්ධතාවක්‌ පවතී. පුද්ගලයාගේ මනසින් ඔහු හෝ ඇය ආකර්ෂණය වීමට අදාළ රසායනයන් නිකුත් කරන්නේ සමාන ලිංගිකයන් කෙරෙහි නම් එම පුද්ගලයා සමසෙනෙහස්‌ හෝ පොදු සමාජයේ සමලිංගික ලෙස හඳුන්වන කෙනකු බවට පත්විය හැකිය යන එහි ප්‍රබලතම තර්කයයි. 

දරුවකු මව්කුස සිටියදී සාමාන්‍යයෙන් ගර්භණී කාලය තුළ මවකට පවතින ආතතිමය තත්ත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉක්‌මවා පැවතියහොත් එම දරුවා සමාන ලිංගිකයන්ට ආකර්ෂණය විය හැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එක්‌ පර්යේෂණ කණඩායමක්‌ තර්ක කරයි. වර්තමානයේදී වඩාත් පිළිගන්නා වූ අදහසක්‌ වන්නේ මව් පාර්ශ්වයේ ජානමය බලපෑම සෘජුවම පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාව තීරණය වීම කෙරෙහි බලපාන බවයි. මෙහිදී සාමාන්‍ය මිනිසුන් ලෙස අප විසින් තේරුම්ගත යුතු කරුණු කිහිපයක්‌ තිබේ. 

පුද්ගලයෙක්‌ සමලිංගිකවීමට අදාළ කරුණු හොයනවාට වඩා ඔවුන් ද සාමාන්‍ය ආකාරයට මවුකුසකින් උපත ලැබූ මිනිසුන් වන බවයි. විෂම ලිංගික මිනිසුන් සම්මතය යෑයි පවසන විරුද්ධ ලිංගිකයෙකු සමග විවාහවීම, දරුවන් සෑදීම යනාදිය සිදුකිරීමට තම මනස සකස්‌කර ගැනීමට අපහසු මිනිසුන් පිරිසක්‌ වන බවයි.

සමලිංගිකත්වය පිළිබඳව විරුද්ධ මත ප්‍රකාශ කරන්නන්ගේ වඩාත් ප්‍රසිද්ධ තර්කය වන්නේ එය නීතියට පටහැණි දෙයක්‌ වන බවයි. අනෙක්‌ අතට මෑත කාලීනව සිදුවු යම් යම් සමාජ ප්‍රතිසංස්‌කරණ නිසා සමලිංගිකත්වය පිළිබඳව වෙනදාට වඩා කතා කිරීම හේතුවෙන් රජය හා වෙනත් පාර්ශ්ව ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය නීතිගත කිරීමට සැරසෙනවාය යන වැරදි අදහසක්‌ මතුවෙමින් තිබේ.

ලබන සතියට

තුෂාර මනෝඡ්_දිවයින
EQUAL GROUND ආයතනයේ ව්‍යාපෘති නිලධාරි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමලිංගික අයිතිවාසිකම් හා GSP +"

    Post a Comment