23 January, 2017

දුව - පැන ඇවිදින සෙල්ලම් වයසෙදි යතුරුපැදියක් හප්පලා මාස තුනක සිටම සිහිය නැතිව රෝහලේ

boy-accident-galgamuwa

පින් පව් අනුව ජීවිතයේ බොහෝ වූ ඉරණම්වලට ගොදුරු වන්නේ කිසිදු වයස් භේදයක් ජාති භේදයක් නොමැතිවය. එවන් දුක්බර ඉරණමකට ලක්වූ පුංචි පුතකු පිළිබඳව අපට අසන්නට ලැබුණේ හදම කම්පා කරවන කතාවක්.

ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළ ගිරිබාව, පහළ ගිරිබාව, ගල්ගමුවේ පදිංචි ආර්.එම්.බී. දසුන් සයුරංග බණ්ඩාර පුංචි පුතු ඔහුගේ පුංචි කැදැල්ලේ දඟකාරව ජීවත් වුවද ඔහුගේ දෛවය ඔහුගේ ජීවිතයට ගෙන ආවේ පුදුමාකාර ඉරණමකි. හුරතල් සිනාවෙන් නිවෙසම හැඩ කරමින් සිටි ඒ කුඩා පුතුගේ ජීවිතයම මහා දුකකට ඇද දමමින් 2016-09-11 දිනය දා හිරු උදාවිය. 

තම වයසේ මිතුරන් මාර්ගය අසල සෙල්ලම් කරමින් සිටියදී මාර්ගයේ පැමිණි යතුරුපැදියක් මෙම දරුවාද අනතුරට පත් කරමින් ඉදිරියට ඇදිණි. යතුරුපැදියේ හැඬලය වේගයෙන් පුංචි පුතුගේ හිස් කබලේ වැදීමෙන් සිදුවූ අනතුරින් මෙම දරුවාගේ පියවි සිහිය පවා ඔහුට අහිමි වූයේ මුළු නිවෙසම කම්පාවට පත් කරමිනි.

දින 35ක් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුංචි පුතු ඉන් පසුව දින 18ක් අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ 31 වැනි වාට්ටුවේද ප්‍රතිකාර ලැබීය. මෙම කාල සීමාව තුළ හිස් කබලේ සැත්කම් 5ක්ද මෙම පුංචි පුතුට සිදු කර තිබේ. මාස 03ක් පමණ කිසිදු සිහි කල්පනාවක් නොමැතිව ජීවත්ව සිටි මෙම පුංචි පුතු දැනට සතියක පමණ සිට වචන දෙක තුනක් ගැට ගසා ගැනීමට මහා වීරියක් ගනිමින් සිටියි. 

එහෙත් ඔහුගේ කල්පනාව තවමත් යථා තත්ත්වයට පත්ව නැත. හිස් කබලේ දකුණු පසට දැඩි ලෙස හානි සිදුවීම නිසා එම කොටස ඉවත්කර ඇති අතර ඒ හේතුවෙන් මෙම දරුවාගේ වම්පස ඉන්ද්‍රියයන් මේ වන විට ක්‍රියාකාරීත්වයක් නොමැතිව තිබේ. මෙම දරුවාගේ කුස පිරෙන්නේද දියරමය ආහාරවලිනි. එයද බටයක් ආධාරයෙන් උදරයට ලබාදෙන අතර එම ආහාරය වෛද්‍යවරුන් විසින් නියම කරනු ලැබූ කිරිපිටි දෙවර්ගයකි. දිනකට මිලිග්‍රෑම් 200 බැගින් පැය තුනකට වරක් එම කිරිපිටි වර්ගය ලබාදිය යුතු අතර එම කිරිපිටි දෙවර්ගයේ මිලද රුපියල් 4,000කි. දින තුනෙන් තුනට මෙම කිරිපිටි මිලදී ගත යුතුය.

අපට තියෙන ලොකුම දේ තමා කොහොම හරි මගේ දරුවා බේර ගන්න එක. මාසෙකට රුපියල් ලක්‍ෂයකට වඩා වියදම් යනවා. ව්‍යායාම කරවන්න දවස් 4න් 4ට අනුරාධපුර රෝහලට අරන් යන්න ඕනෙ. වෑන් එකක් කුලියට අරන් තමයි අපි යන්නේ. රුපියල් 4,000ක් විතර එක දවසට ඕනේ වාහන කුලිය විතරක්. බේත්වලටයි, කිරිපිටිවලටයි සෑහෙන මුදලක් වැය වෙනවා. ඇත්තටම මම මගේ පවුල ජීවත් කරන්නේ ගොවිතැන් කරලා. අද වෙද්දී ඒ වැඩත් එහෙම්මම නැවතිලා.

කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා මගේ දරුවා සුවපත් කරන්න උදව් කරනවානම් එයාට බුදුබව අත් වෙනවා.

වෛද්‍යවරුද දරුවාගේ ජීවිතය පෙර තත්ත්වයට ගැනීමට සෑහෙන උත්සාහයක නිරතව සිටිති. ඒ වෙනුවෙන් මෙම පුංචි පුතුගේ මවත් පියාත් පින්වත් මිනිස් ප්‍රජාවෙන්ම ඉල්ලා සිටින්නේ හැකි පමණින් හෝ සිය දරුවා බේරා ගැනීමට උපකාරයක් කරන ලෙසිනි. 

ඒ සඳහා පින් කැමැති ඔබට 072 - 5088083 හා 072 - 1939168 යන දුරකතන අංක ඔස්සේ දරුවාගේ පියා සම්බන්ධ කර ගත හැකි අතර ඩබ්.එම්. සමුද්‍රා ඉඳුනිල් මැණිකේ යන නමින් මහජන බැංකුවේ තඹුත්තේගම ශාඛාවේ ඇති 219-2-001-7-0038232 දරන ගිණුම් අංකය ඔස්සේ ඔබේ ආධාර උපකාර ලබාදිය හැකිය.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුව - පැන ඇවිදින සෙල්ලම් වයසෙදි යතුරුපැදියක් හප්පලා මාස තුනක සිටම සිහිය නැතිව රෝහලේ"

    Post a Comment