23 January, 2017

ගෙදරට බොරු කියලා නාන්න ගිය සිසුන් 5න් 3ක් මහවැලි ගඟට බිලි

students-died-dunhinda

පාසල් යන බව පවසමින් ගම්පොළ ඇත්ගාල මහවැලි ගඟේ දුන්හිඳ ප්‍රදේශයේ දිය නෑමට ගොස් දියේ ගසා ගෙන ගිය පාසල් සිසුන් තිදෙනකුගේ මෘත ශරීර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඊයේ (22දා) සොයාගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ උලපනේ උඩගම සරණපාල මහා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනකු බව පොලිසිය පවසයි.

ජීවිතක්ෂයට පත්වූ ගමපොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි චාමර සන්දීප සෙනෙවිරත්න (13), එම ප්‍රදේශයේම පදිංචි තුම්පනේ මුදලිගෙදර තේමිය (13) සහ ගම්පොළ, උලපනේ පදිංචි මැදගෙදර මුදියන්සේලාගේ ගයාන් අමිත් (13) යන තිදෙනා තවත් ඔවුන්ගේම මිතුරන් දෙදෙනකු සමඟ මෙලෙස දිය නෑමට ගොස් ඇත.

එකම පන්තියේ මෙම මිතුරන් පස්දෙනා මවුපියන්ට බොරු පවසා පෙරේදා (21දා) මෙලෙස දියනෑමට ගොස් ඇති බවද පොලිසිය පවසයි.

දියනාමින් සිටියදී මිතුරන් තිදෙනකු දියේ ගසා ගෙන ගොස් ඇති අතර ඉන් දිවි බේරා ගත් අනෙක් මිතුරන් දෙදෙනා පසුව නිවෙස්වලට පැමිණ ඇත.

අනෙක් සිසුන් දෙදෙනා නිවෙස්වලට ගියද සිද්ධිය පිළිබඳව මවුපියන්ට පවසා නොමැති අතර රාත්‍රි 9ට පමණ එම සිද්ධිය දැනගත් මවුපියන් සිය දරුවන් සෙවීම ආරම්භ කොට ඇත.

ගම්පොළ නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 3ක් පමණ පාගමනින් මෙම දුන්හිඳ ස්ථානයට යා යුතු අතර රාත්‍රියේ මේ දරුවන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඊයේ (22දා) පෙරවරුවේ ගම්පොළ පොලිසිය මඟින් නාවික හමුදාවට මේ බව දැන්වීමෙන් පසුව ඔවුන් කොළඹ සිට ගම්පොළට පැමිණ තිබේ.

එතෙක් ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි පිරිස් මේ මළ සිරුර සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද ගැඹුරු වළක මොවුන් දියේ ගිලී තිබීම නිසා එය අපහසු විය.

මේ සිසුන් පස් දෙනා ගඟේ ඉහළ කොටස නැරැඹීම සඳහා ගඟදිගේ ඉහළට යමින් සිටියදී එක් සිසුවකු ගලකින් ලිස්සා දියට වැටී තිබේ.

ඔහු බේරා ගැනීම සඳහා පිළිවෙළින් සියලු දෙනා දියවළට පැන ඇති අතර ඉන් තිදෙනකු මෙසේ ගිලී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. මියගිය සිසුන්ගේ මවුපියන් පවසනුයේ මේ සිසුන් පාසලේ වැඩක් ඇති නිසා පාසලට යන බව පවසා නිවෙස්වලින් ගිය බවයි.

මහවැලි ගඟේ දිය නෑමට ගිය බව කිසිවකුත් නොදන්නා බවත් දරුවන් අතුරුදන් වූ බව දැන රාත්‍රි කාලයේ ප්‍රදේශයේ සෑම තැනකම සොයා බැලූ බවත් ඔවුහු පවසති.

උඩගම පාසලේ විදුහල්පතිතුමිය වූ ඩී.ජේ. සී.කේ. ගොඩකුඹුර මහත්මිය මෙසේ පැවැසුවාය.

ළමයින් තිදෙනා අප පාසලේ 9 වසර ඉගෙනුම ලබන අය. ඔවුන් පාසලේ හොඳට හිටියා. ඉගෙනුමටත් හොඳයි. පාසලට ළමයින්ට එන්ට කියලා තිබුණේ නෑ. කවුරුත් තම තමන්ගේ ළමයින් පිළිබඳව සැලකිල්ලෙන් සිටියානම් මෙවැනි විපත් වන්නේ නෑ.

ගොඩගත් මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට කටයුතු යොදා තිබිණි.

ගම්පොළ පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

-චාමර අමරසූරිය, ගම්පොළ - මාධව බණ්ඩාර_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෙදරට බොරු කියලා නාන්න ගිය සිසුන් 5න් 3ක් මහවැලි ගඟට බිලි"

    Post a Comment