01 January, 2017

ලක්‍ෂයේ චෙක්‌පත ලෑස්‌තියි - දැන් මොකද කරන්නෙ - රන්ජන් පිළිතුරු දෙයි

ranjan-ramanayake03

රන්ජන් ඊයේ පෙරේදා යළිත් ආන්දෝලනයට ලක්‌විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු රුපියල් ලක්‍ෂයේ දීමනාව ඔහු ප්‍රතික්‌ෂේප කිරීම නිසා මෙසේ ආන්දෝලනයට ලක්‌විය.

රන්ජන් දුරකථනයට සම්බන්ධකර ගැනීමට අපට හැකිවිය.

අපි කෙළින්ම ප්‍රශ්නයට පැමිණියෙමු.

ප්‍රශ්නය - රන්ජන් මොකද මේ රුපියල් ලක්‍ෂය එපා කියන්නේ.

පිළිතුර - මේ රටේ ජනතාව අනන්තවත් දුක්‌ විඳිනවා. ඔවුන්ට පටි තදකරගන්න කියලා අපි රුපියල් ලක්‍ෂයේ දීමනාව ගන්න එක වැරදියි. ඔය මැති ඇමැතිවරුන්ට එච්චරටම ප්‍රශ්න තියෙනවාද? පෞද්ගලික ලේකම් පුතා හරි දුව හරි. එහෙමත් නැත්නම් නෝනා. සම්බන්ධිකරණ ලේකම් ඒත් පවුලේම කෙනෙක්‌. අමාත්‍යාංශයේ තියෙන ලොකුම තනතුරු දරන්නේ කවුද? ඇමැතිවරයාගේ පවුලේ අය. ඉතින් මේ ගොල්ලන්ගේ ආදායම කොහොමද? එහෙම තියෙද්දිත් රුපියල් ලක්‍ෂයේ මුදලක්‌ අනුමත කරගන්නවා. වැඩේ කැතැයි නේද?

ප්‍රශ්නය - ඔබේ ලක්‍ෂයේ මුදල් චෙක්‌පත දැන් ලෑස්‌ති කරලාලු.

පිළිතුර - මොන බොරුද ඔය චෙක්‌පත ලියන්න ඕනෑ. ජනවාරි මාසයේ. දැනට ලියලා හරියන්නේ නැහැ. ඕක බොරු කතාවක්‌. ඔබ දන්නවාද වැලි පර්මිට්‌ තියෙන මන්ත්‍රීවරු කී දෙනෙක්‌ ඉන්නවාද කියලා. ඔබ දන්නවාද බාර් ලයිසන් තියෙන මන්ත්‍රීවරු කී දෙනෙක්‌ ඉන්නවාද කියලා. 


ටෙන්ඩර් තියෙන මන්ත්‍රීවරුන් කී දෙනෙක්‌ ඉන්නවද කියලා. මේ ඔක්‌කෝම දුප්පත් කට්‌ටියද? ඉතින් මොනවද තව රුපියල් ලක්‍ෂයේ දීමනාව. මම තනිකඩයා. මට කියලා ස්‌ථිර කිසිවක්‌ නැහැ. මම චිත්‍රපටි කරලා ආදායම් ලබනවා. ඉතින් මම මොකටද ලක්‍ෂයක්‌ ගන්නේ. මම හිතන්නේ ඩලස්‌ අලහප්පරුම මන්ත්‍රීවරයාත් ඔය ලක්‍ෂයට අකමැති බව මට දැනගැනීමට ලැබුණා.

මම තවත් අලුත් කතාවක්‌ කියන්නද?

පාර්ලිමේන්තු කැන්ටිමට බේකන්, මී පැණි, ඌරු මස්‌, ජපන් මාළු වර්ගයන් ඕඩර් කරපු දේශපාලනඥයෙක්‌ ගැන දැනගැනීමට ලැබුණා. හැබැයි ඌරු මස්‌ ගෙන්වීමට ඕඩර් කිරීම අවලංගු වුණා. හේතුව මුස්‌ලිම් මන්ත්‍රීවරයෙක්‌ මේකට විරුද්ධ වුණා. ජනතාව පරිප්පු කනවා. මෙයාලා සුපිරි කෑම ඕඩර් කරනවා. වැඩේ වැරදියි.

තොරතුරු හෙළි කිරීමේ පනත වත්කම් හෙළිකිරීමේ පනත සම්මත වූවා නම් මම මේ ගොල්ලන් ගැන රටටම හෙළිකරනවා. සමහර පුවත්පත් මාධ්‍යවේදීන් අද සුපිරි ගෙවල්වල ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නේ එංගලන්තයේ. සමහර ආගමික පූජකවරුන් ඒකාලේ සුවිශේෂී උදව් ලබාගෙන තිබෙනවා.

පිටරට රෝහලක ප්‍රතිකාර ගත්ත හිමිනමකගේ බිල කෝටි 25 ක්‌ විතර වෙනවලු. උමාඔය හරවලා කෝටි ගණනක වැලි මගඩියක්‌ කළ දේශපාලනඥයා ගැනත් අපි දන්නවා. ඉස්‌සර වෙලාම අපි ජනතාවට ආදර්ශවත් වෙන්න ඕනෑ. අපි පුළුවන්තරම් යටි මඩි ගහලා ජනතාවට ගැලවුම්කරුවකු ලෙස ජිවත් වෙන්න හදනවා. වැරද්ද වැරද්දමයි. මේ හැම ගැහිල්ලක්‌ එදා ගැහුවා. ඌරුගුවේ ජනාධිපති ගැන අහල ඇතිනේ. අන්න නියම චරිතේ. එයාගේ ආදයමේ කොටසක්‌ ජනතාවට දෙනවා. එයාගේ කාර් එක ඒ වගේම එයාගේ නිවස.

මේ වගේ තත්ත්වයකදි අපි අපේ රුපියල් ලක්‍ෂයේ දීමනාව ගත්තොත් අපි ජනතාවට මුහුණ දෙන්නේ කොහොමද? අපි පාරේ ඇඳුම් ඇඳගෙන යන්නේ කොහොමද? අපිට මිනිස්‌සු හෙණ ඉල්ලයි. අනේ. මට එපා. ඔය රුපියල් ලක්‍ෂය. මට හිතෙන්නේ තවත් මැති ඇමැතිවරු කිප දෙදෙනක්‌ මගේ මතයේ ඉන්න පුළුවන්. පසුගිය රජය කාලේ නහුතෙට වංචා කළ, හොරකම් කළ ඇමැතිවරුන් මේ ලක්‍ෂය ගන්න පුළුවන්. හොරුන්ට අපි තවත් පැනලා දෙන වැඩක්‌ මේක. ඒ හොරු ටික දැන් තොත්ත බබාල වගේ ඉන්නවා. මේ ලක්‍ෂයත් ගන්න.

- නෝමන් පළිහවඩන

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලක්‍ෂයේ චෙක්‌පත ලෑස්‌තියි - දැන් මොකද කරන්නෙ - රන්ජන් පිළිතුරු දෙයි"

    Post a Comment