18 December, 2016

නින්දෙන් නැඟිටල ගිහිල්ලා 6ක් ගහලා දකුණු අප්‍රිකාවෙදි මැච් එකක් දිනවපු සචිත්‍ර

එදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නැස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩා පිටියේ පැවැති එක් දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය ලබා ගැනීමට නම් අවසන් පන්දු වාරයේදී ලකුණු 6ක් ලබාගත යුතුව තිබුණා. ලකුණු පුවරුව කියැවුණේ ලංකාව 307ට 6යි. රොබින් පීටර්සන් යැවූ 50 වැනි පන්දු වාරයේ පළමු පන්දුවටම කුලසේකර ලකුණු බින්දුවකට දැවී ගියා. 

ඊට පසුව විකට්ටුවට ආපු හේරත් මුහුණදුන් පළමු පන්දුවටම බැක්වර්ඩ් පොයින්ට් දෙසට පන්දුව තල්ලු කරලා ලකුණක් ගත්තා. ඒ වෙනකොටත් පන්දු 62කින් ලකුණු 69ක් අරගෙන විකට් එකේ හිටපු තිරිමාන්න ඊළඟ පන්දුවේදී පීටර්සන්ට දැවී ගියේ මෝකල් අතට උඩපන්දුවක් දුන් නිසයි. 

දැන් ලංකාවෙ කඩුලු 8ක් දැවිලා ගිහින්. දිනන්න නම් තව පන්දු 2යි ලකුණු 5ක් ගහන්න ඕන. ඊළඟට කවුද බැට් කරන්න එන්නෙ.

විචාරකයන්ටත් පුදුමය දනවමින් ඕහ්... ලසිත් මාලිංගටත් කලින් අලුත් කොල්ලෙක් පිටියට එනවා. ඇයි කියල කාටත් ප්‍රශ්නයක් වුණා. මොකද හේතුව ඒ තරගය අවුරුදු 27ක් වයස ඒ කොල්ලගෙ දෙවැනි එක්දින තරගයයි. ඊට කලින් තරගය ඔහුගේ මංගල තරගය වුණත් ඒක කඩුලු 5කින් ලංකාව දිනපු නිසා බැට් කරන්න අවශ්‍ය වුණේ නැහැ. පන්දු යැව්වා විතරයි. 

කොහොම වුණත් මේ නව පිතිකරුවා පළමු ජාත්‍යන්තර පන්දුවට මුහුණ දුන්නා. වමතින් පා දඟ පන්දු යැවූ රොබින් පීටර්සන්ගේ ඒ පන්දුව ලෙග් ස්ටම්ප් එකට වැටුණු ලෙන්ත් බෝල් එකක් නිසා ආරක්ෂාකාරී පහරක් ගැහැව්වා. පන්දුව අහුලගත්ත පීටර්සන් ඒ ඕවරේ 5 වැනි පන්දුව එව්වා. 

කිසි බයක් නැතිව මේ තරුණයා මිඩ් විකට් හරහා උඩින්ම පන්දුව හතරේ සීමාවෙන් එහාට යැව්වා. ලකුණු 6යි. කඩුලු 2කින් තරගය දිනෙව්වා. 

තමන්ගේ පළමු ජාත්‍යන්තර එක් දින ලකුණ, ලකුණු 6කින් ලබාගෙන මේ වාර්තාගත හපන්කම කළේ 2012 ජනවාරි 22දා ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව බලා ගිය අන්තිම සංචාරයේ එක්දින තරගාවලියේ අවසාන එක් දින තරගයේදීයි. කවුද? ඒ හපන්කම කළේ ප්‍රශ්නයට උත්තරය සචිත්‍ර සේනානායක.

සචිත්‍ර පසුගිය දිනවල බංග්ලාදේශයේ පැවැති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙලා ලංකාවට ඇවිල්ලා දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කරනවා. 

මේ දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට සචිත්‍රව ඇතුළත් වුණේ නැති වුණත් ජනවාරි මස අග හරියේදී පටන් ගන්න එක් දින තරගාවලියට යන්නට ලැබේදෝ යන බලාපොරොත්තුවක් ඇති බව ඔහුගේ කතාවෙන් තේරුණේ විවේක ලද මොහොතක අපි ඔහුව සම්බන්ධ කරගත් නිසයි.
කොහොම වුණත් දකුණු අප්‍රිකාවේදී අපි දිනපු එම අවසන් එක් දින තරගයේදී සචිත්‍ර කරපු ඒ හපන්කම හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයත් එක්කම ඔහුව අමතක කරන්න බැරි චරිතයක් නිසාම එදා ඒ සිදුවීම ගැනත් ඉදිරි සංචාරයන් ගැනත් විමසන්න අදහස් කළා. තම මංගල තරග සංචාරය විදියට දකුණු අප්‍රිකාවට ගිය ආකාරයත් එදා තරගය ගැනත් මතකය අවදි කළ සචිත්‍ර,

"දකුණු අප්‍රිකාව වගේ කණ්ඩායමකට එරෙහිව පළමු තරගය ක්‍රීඩා කරන්න ලැබේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අනෙක නොසිතූ අවස්ථාවක මට යන්න ලැබුණේ. මොකද හේතුව අජන්ත මෙන්ඩිස්ගේ ආබාධයක් ඇතිවුණා. ඒ නිසයි අවස්ථාව ලැබුණෙ. 

එහෙම ගිහිල්ල මට බැට් කරන්න හම්බවුණු පළමු තරගයේදීම ලකුණු 6ක් ගහලා තරගයක් දිනවන්න ලැබුණු එක මගේ ලොකු වාසනාවක්. මම යනකොට මැචස් තුනක් ඉවරයි. මම ගියපු දවසෙම පහුවදා ප්‍රැක්ටිස් කළා. ඊළඟ දවසෙ මැච් එකට ගැහැව්වා. 

ඩිල්ෂාන් අයියා කැප්ටන් කළේ. මම ගෙන්නුවෙ කෙළින්ම ගස්සන්න කියලා ඩිල්ෂාන් අයියා කිව්වා. එයා නිසා තමයි ඇත්තටම මට ලංකාවට ගහන්න පුළුවන් වුණේ" යනුවෙන් පැවැසීය. 

ඩිල්ෂාන් අයියා නිසා ගහන්න පුළුවන් වුණා කියන අදහස ගැන විපරම් කළ විට ඊට පිළිතුරු දෙමින්ම තවත් කතා බහ දිග්ගැස්සිණි.

"ඒ කියන්නේ ගොඩක් අලුත් ක්‍රීඩකයෝ නැෂනල් ටීම් එකට ක්‍රීඩා කළේ ඒ කාලෙ. චන්දිමාල්, තිරිමාන්න, මම, සීක්කු ඔය ඔක්කොමල ආවෙ ඩිලී අයිය ඉන්න කාලේ. එදා දකුණු අප්‍රිකාවට යද්දී මගේ ඔළුවේ තිබුණේ කවදද නැෂනල් ටීම් එකට යන්නේ කියන එක විතරයි. 

ඒ හැර වෙන දෙයක් හිතට ආවෙ නැහැ. එහෙම ගිහිල්ල හම්බවුණු ෆස්ට් මැච් එකේ ගහන්න ලැබුණෙ නැහැ. සෙකන්ඩ් මැච් එකේ ගැහැව්වේ. ඒකෙදි ඉතිං මුල්ම ලකුණ 6කින් ගහන්න පුළුවන් වුණා (සිනාසෙමින්...)" 

යැයි කී සචිත්‍ර එවන් අත්දැකීමක් ලැබූ කිසිවෙකුත් එදින කණ්ඩායමේ නොසිටි බවද කීය.

කඩුලු 4ක් අතේ තියාගෙන අන්තිම පන්දු වාරයේ ලකුණු 6ක් අරගෙන පහසුවෙන්ම දිනන්න තිබූ තරගය දකුණු අප්‍රිකානුවෝ උදුරාගෙන තිබූ මොහොතකයි කෝඩුකාරයා විකට් එකට ගියේ නේද? කියල විමසූ විට සචිත්‍ර කිව්වේ අමුතු කතාවක්.

"අපි හිතාගෙන හිටියේ අපි මැච් එක ලෙහෙසියෙන් දිනාවි කියලා. කුමාර් 100ක් ගහලා තිබුණා. තිරී හැට ගාණක් ගහලා විකට් එකේ හිටියා. මම හිතුවෙ නැහැ මට ගිහින් ගහන්න වෙයි කියලා. එක පිට විකට් දෙකක් ගියාම තමයි මම පෑඩ්ස් දෙක දාගන්නත් ගියේ. 

මම ලෑස්ති වෙලා හිටියෙ නැහැ. මට නින්ද ගිහිල්ල හිටියේ. විකට් යද්දි මාවන් අයිය කෑගහල කිව්වෙ අන්න විකට් යනවා බැට් කරන්න සූදානම් වෙන්න කියලා. බැට් කරන්න යද්දී මම කීයක්ද ගහන්න ඕන කියලවත් මට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. 

මගේ ඔළුව තනිකරම හිස්. මම යනකොට අනෙක් පැත්තෙ හිටියේ රංගන අයියා. මම ග්‍රවුන්ඩ් එකට යද්දී මුලින්ම හම්බවුණේ කෝසල කුලසේකර. මම ඇහැව්වා "කීයක් ගහන්න ඕනෑද" කියලා. 

එයා මට පිටට තට්ටුවක් දාලා කිව්වා 5ක් ගහන්න ඕන කියලා. කෝසල මාවන් අයියට (බැටිං කෝච්) කියල තිබ්බා 'උෟ ගහල ඒවි බයවෙන්න එපා' කියලා විකට් එකට ගියාට පස්සේ වුණු දේ විස්තර කළේ මෙහෙමයි.

"මම පළමුවැනි බෝලෙටත් ගහන්න හිතන් හිටියේ. ඒත් මට ඕන තැනට වැටුණෙ නැහැ. ඒ හින්ද මම ඩිෆෙන්ස් කළා. දෙවැනි බෝලෙට 6ක් ගැහැව්වා. කොහොමත් මම චාන්ස් එකක් අරගෙන ගහනවා කියලා ගිය ගමන් රංගන අයියට කිව්වා. මොකද මම එකක් ගැහැව්වොත් අන්තිම බෝලෙට රංගන අයියට 4ක් ගහන්න වෙනවානේ".

ආවට පස්සෙ කට්ටියගේ ප්‍රතිචාර කොහොමද?

ඔක්කොටම පුදුමයි. කවුරුත් හිතුවෙ නැහැ මම එහෙම කරයි කියලා. මමවත් හිතාගෙන හිටියේ නැහැ මම එහෙම කරාවි කියලා. මට පීඩනයක් තිබුණෙත් නැහැ. එන බෝලෙට ගහනවා කියලා විතරයි හිතුවේ. ඒ ග්‍රවුන්ඩ් එකේ මගේ පළමු තරගයත් ඒක. මට නින්ද යන්න හේතුව වුණේ වෙලාවෙ වෙනස නිසයි. ගිහිල්ලත් දවස් තුනයි ගතවෙලා තිබුණේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයෝ මොනවද කිව්වෙ?
ඒගොල්ලන්ටත් පුදුමයි. මටත් ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මොකද මගේ පළමුවැනි ලකුණ හයක්නේ. ඒකෙන් මැච් එකත් දිනුවනේ. ඒ වගේ පීඩනයක් තිබුණ වෙලාවක 6ක් ගහල දිනන්න ලැබුණු එක කණ්ඩායමටත් අලුත් අත්දැකීමක් වෙන්න ඇති.

එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී විචාරකයෙක් ලෙස දකින අයුරු කෙසේ දැයි විමසූ විට පිළිතුරු දුන් දකුණත් පිට දඟපන්දු යවන සචිත්‍ර "දකුණු අප්‍රිකාව කියන්නේ ශේ‍ර්ණිගත කිරීමේ ලැයිස්තුවෙ උඩින් ඉන්න කණ්ඩායමක්. 

මේ තරගාවලියට අපට ලොකු අභියෝගයක්. අත්දැකීම් අතින් ගත්තත් අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහොමයක් අත්දැකීම් අඩු අයයි. අත්දැකීම් බහුල අයට ඉන්නෙ ඇන්ජි, රංගන අයියා, චන්දි, උපුල් අයියා වගේ අය විතරයි. 

ඒ අසීරු අභියෝගය භාර අරගෙන තරග කරන්න ඕන. කොහොම වුණත් පසුගිය සිම්බාබ්වේ සංචාරයේදී අපේ අලුත් අය හොඳට කරපු නිසා ඒ ජයග්‍රාහී මානසිකත්වයත් එක්ක ගිය එකත් අපිට ලොකු හයියක්. එයාලගෙ ලොකුම පන්දු යැවීමේ තුරුම්පුව ඩේල් ස්ටේන් දැනට ආබාධිත තත්ත්වයෙන් ඉන්නෙ. 

ඒත් මෝනි මෝකල්, පිලැන්ඩර් වගේ දක්ෂ වේග පන්දු යවන්නන් මේ දවස්වල හොඳ මට්ටමක ඉන්නවා. අපේ වේගපන්දු යවන්නන් ගත්තොත් ඒ දේශගුණයට, තණතීරුවලට ඉක්මනින්ම අනුගත වුණොත් ඒක අපිට ලොකු වාසියක්. ලංකාව පැත්තෙන් ගත්තාම කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, පිත්තෙන් විශේෂ දෙයක් කරයි කියලා හිතනවා. පන්දු යවන්නන් බැලුවහමත් රංගන හේරත් හා දුෂ්මන්ත චමීර වැඩි යමක් කරාවි කියලා හිතනවා."

sachithra-senanayake-02

සිරිනාම රාජපක්ෂ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නින්දෙන් නැඟිටල ගිහිල්ලා 6ක් ගහලා දකුණු අප්‍රිකාවෙදි මැච් එකක් දිනවපු සචිත්‍ර "

    Post a Comment