09 December, 2016

මුඩුක්කුවෙන් ඇවිත් ඇමැති කෙනෙක් වුණු රනිල් ඊළඟට කවුරු වෙයිද?

ranil-kulasinghe-paper-article


කොහොමද රනිල්?

වරදක් නැහැ. රංගන කටයුතු කරගෙන ඉන්නවා.

සල් සපුනා නිසා රනිල් ගැන මේ දවස්වල කතාබහ කරන්න අරගෙන?

සල් සපුනා ටෙලි නාට්‍යයෙන් තමයි මම වැඩිපුරම ප්‍රේක්‍ෂකයෝ අතරට ගියේ. කාලෙකට පස්සේ වෙනස් තේමාවක් තියෙන නාට්‍යයක් කියලා ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සුරේන්ගේ චරිතයටත් ලොකු පුංචි හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. මාව මේ චරිතයට යෝජනා කරපු ඉරේෂ් ලොකු බණ්ඩාරට වගේම මට මේ අවස්ථාව දුන්න සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියටත් නාලන් මෙන්ඩිස් මහත්මයටත් ස්තුති කරනවා.

සුරේන්ට හොඳ ප්‍රතිචාරමද ලැබෙන්නේ?

ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු අඩුපාඩුත් පෙන්වලා දෙනවා.

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ රනිල්ගේ හැකියාව ගැන සතුටුද?

සමහරු කියනවනේ අලුත් අයට ප්‍රවීණයන්ගෙන් කැපිලි කියලා. මගේ වාසනාවටද දන්නෑ. මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. වර්තමානයේ ඉන්න හොඳ නළුවෙක් කියලා ඔවුන් මට සුබ පතනවා. සුරේන් කියන්නේ සීරියස් චරිතයක්.

සැබෑ ජීවිතේ රනිල් සුරේන් වගේ සීරියස්ද?

එච්චර සීරියස් නැහැ. සීරියස් වෙන තැන්වලදී මම සීරියස්. හැබැයි මම පිස්සු නටන තැනුත් තියෙනවා.

මේ දවස්වල සල් සපුනා නිසා රනිල් ගැන කතා කළාට රනිල්ගේ පළමුවැනි නිර්මාණය මෙය නෙවෙයි?

දූවිලි මල් ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. මගේ රංගනය ගැන කතා කරන්න ගත්තේ ඒ නාට්‍යය නිසා. මුඩුක්කුවක ජීවත්වන චරිතයක් මම කළේ. තාමත් මට භානු කියලා කතා කරන අය ඉන්නවා. ආර්.කේ. අලුත්වීදියගේ කියන අධ්‍යක්‍ෂවරයා තමයි මට ඒ අවස්ථාව දුන්නේ.

පවුල් පසුබිමෙන් රංගනයට එන අය අතරේ රනිල් රංගනයට ආවේ මොන වගේ පසුබිමක් හදාගෙනද?

මගේ තාත්තා ඩාන්සින් සර් කෙනෙක්. ඔහු තමයි මගේ කලා ජීවිතයේ වීරයා. මගේ අයියත් නර්තන ශිල්පියෙක්. ඒ නිසා අපේ ගේ ඇතුළේ කලාව තිබුණා. මට රඟපෑම ගැන ලොකු අදහසක් තිබ්බේ නෑ. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න තමයි මට ඕන වුණේ. ඒ වෙනුවෙන් මම අනෝජා වීරසිංහ මහත්මිය, තිලක් ගුණවර්ධන සර්ගෙන් වගේම මහේන්ද්‍ර අයියගෙනුත් දේවල් ඉගෙන ගත්තා. එතැනදි මහේන්ද්‍ර අයියා තමයි කිව්වේ මගේ රංගනයේ වෙනසක් තියෙනවා රඟපාන්න කියලා.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වෙන හීනේ දැන් අමතක කරලද?

නැහැ. ඒ හීනය අමතක කරලා නැහැ. ඒක කවදා හරි හැබෑ කර ගන්නවා.

ඒ කියන්නේ රංගනය පාවිච්චි කරන්නේ අධ්‍යක්‍ෂණයට යන්න පාලමක් විදියටද?

මම රංගනයට ගොඩක් ගරු කරනවා. ඒ දේවල්වලින් ගන්න අත්දැකීම මට අධ්‍යක්‍ෂණයට යද්දි ගොඩක් වැදගත්.

සමහර නළුවෝ හැකියාව ථචඪදබචඪද කරනවා සමහරු පෙනුම maintain කරනවා. රනිල් හැකියාවද පෙනුමද maintain කරන්නේ?

පෙනුම චරිතයකට වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මම maintain කරන්නේ හැකියාව.

රනිල් කියන්නේ නළුකම ඔළුවට අරගෙන ඉන්න පුද්ගලයෙක්ද?

අනේ නැහැ. මම නළුකම ඔළුවේ තියාගෙන නැහැ. මම නළුවා වෙන්නේ කැමරාව ඉස්සරහා විතරයි. අනෙක් වෙලාවට හරිම සරලයි. සමහර වෙලාවට මගේ යාළුවෝ බනිනවා මම එළියට යද්දි අඳින ඇඳුම් දැකලා. මම ඉරේෂාගේ බර්ත්ඩේ පාර්ටි එකට ගියෙත් කොට කලිසමක් ඇඳන්. මගේ ජීවිතේ සරලයි. හරි නිදහස්.

රංගන ශිල්පියෙක් වුණාට රනිල් හැම ටෙලි නාට්‍යයකම හැම නාළිකාවකම පේන්න නෑනේ?

මට නිතර පේන්න වුවමනා නෑ. හොඳ වැඩකින් පේන්නයි මට ඕන.

අලුත් වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?

නිහාල් ප්‍රනාන්දු මහත්මයගේ 'අක්වැස්ස' කියන ටෙලි නාට්‍යයේ වැඩ ඉවර කළා. ටිකිරි රත්නායක මහත්මයගේ ටෙලි නාට්‍යයක වැඩ මේ මාසේ පටන් ගන්නවා. මම මුඩුක්කුවක ජීවත්වන චරිතයක් කළා. ඇමැති කෙනෙක්ගේ චරිතයක් කළා. මේ වගේ වෙනස් චරිත කරන්න කැමැතියි. හිතට අල්ලන චරිත කරගෙන හිමින් ගමනක් යනවා.

සුරේන්ගේ ආදරය දිනාගන්න බිරියක් වගේම පෙම්වතියකුත් පුංචි තිරයෙදි ඉන්නවා. සැබෑ ජීවිතයේ රනිල්ට පෙම්වතියක් ඉන්නවද කියලත් කියමු?

එහෙම කෙනෙක් ජීවිතේ ඉඳලා තියෙනවා. දැන් නම් නැහැ. දැන් මගේ අම්මාට මගේ පවුලට සහ කලාවට තමයි මම ආදරය කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
ඡායා - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුඩුක්කුවෙන් ඇවිත් ඇමැති කෙනෙක් වුණු රනිල් ඊළඟට කවුරු වෙයිද? "

    Post a Comment