20 October, 2016

තායිලන්ත රජුගේ දේහය දින 100ක් මහජන ගෞරවයට

තායිලන්තයේ මියගිය “බූමි බෝල්” රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් දින 100 ක කාලයක් දේහය බැංකොක් හි රාජකීය මාළිගාවේ තැම්පත් කර තැබීමට එරට රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා සඳහන් කළේ ලක්ෂ ගණනක ජනතාවගේ වන්දනීයත්වයට තවමත් ලක්වන රජුට අවසන් ගෞරව දැක්වීමට මෙම කාලය ලබා දිය යුතු බවයි.

තායිලන්තයේ ජනගහනය කොටි 07 කට ආසන්න වනවා. මුළු රටකම ජනතාවගේ දැඩි ගෞරවාදරයකට පත්‍ර වූ “බූමි බෝල්” රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව දින කිහිපයක සිට සමූහ පෝලිම් වලට එකතු වී සිටින අයුරු දක්නට පුළුවන්.

thailand-king-honor

රජුගේ දේහය කිසිවිටෙක පිටතට පෙනෙන්නට නිරාවරණය කරන්නේ නැහැ. රෝහලේ සිට දේහය රජමාළිගය දක්වා රැගෙන එන ලද්දේ ද පුර්ණ ලෙස ආවරණය කිරීමෙන්.

දේහය රැගෙන එන මග දෙපස ජනතාව බිම දිගාවී සහ දණහිස් තබා හැඬු කඳුලින් ආචාර කළ අයුරු ද හද කම්පා කරවන දර්ශනයක් වුණා.



රජුගේ දේහය ඉන්පසුව බැංකොක් හි රාජකීය මාළිගාවේ බුද්ධ මන්දිරයට ඇතුල්වන ස්ථානයේ තැම්පත් කර තැබීමට රජපවුල තීන්දු කළා.දැනට එහි තැම්පත් කර ඇති දේහය ද පිටතට අනාවරණය වූ එකක් නොවෙයි.

එම ස්ථානයට පැමිණීමට අවසර තිබෙන්නේ රජ පවුලේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ අවසරය හිමිවන ප්‍රභූන්ට පමණයි.පහත දැක්වෙන්නේ දැනට දේහය තබා ඇති ස්ථානයයි.



සාමාන්‍ය ජනතාව මාලිගයට පිටත මාර්ගය ඔස්සේ ගොස් මාළිගාවේ බුද්ධ මන්දිරය පෙනෙන දුරින් ආපසු පිටව යා යුතු වනවා.

වෙනත් අවසරලත් අමුත්තන් සඳහා මාළිගයේ විවිධ ස්ථාන වල රජුගේ විශාල ප්‍රමාණයේ ඡායාරුප තබා ඇති අතර ඒ ඒ අමුත්තන්ගේ තරාතිරම අනුව ගෞරව කිරීමේ ස්ථානය තීරණය කෙරෙනවා.

රජුගේ ඡායාරුපය ඉදිරිපිට මේසයක් සහ පුටුවක් ඇති අතර පැමිණෙන අමුත්තාට එම ඡායාරූපයට ගෞරව කොට අදාල මේසය මත තිබෙන ශෝක ප්‍රකාශ සටහන් පොතෙහි සිය අදහස සහ ශෝක ප්‍රකාශය සටහන් කළ හැකියි.



විශේෂයෙන්ම සති අන්තවල බැංකොක් නගරයේ අනවශ්‍ය වාහන තදබදයන් ඇති නොකරන ලෙස රජය එරට රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. තවද සංචාරක කලාප සියල්ල යළි විනෝද කටයුතු සඳහා විවෘත්ත වන්නේ ලබන 29 වන සෙනසුරදායින් පසුවයි.



එදිනට රජු මියගොස් සති දෙක අවසන් වනවා. ඊට අමතරව රජු වෙනුවෙන් වසරක කාලයක් 2017 ඔක්තෝබර් 13 දක්වා රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු රාජ්‍ය උත්සවයක් එම කාලය තුල තායිලන්තය තුල නොපැවැත්වීමට රජය නියෝග කර තිබෙනවා.

ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් සිටි භූමිබෝල් අදුල්යාදේජ් රජු අවුරුදු 88ක් ආයු වළඳා පසුගිය 13දා අභාවප්‍රාප්ත වුණා.තායිලන්තයට පැමිණෙන ඕනෑම සංචාරකයෙක් පුදුම කරවන ගෞරවයක් “බූමි බෝල්” රජුට මේ රට තුල තිබුනා.

විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි බොහොමයක එක් පැත්තක් සම්පුර්ණයෙන්ම රජුගේ රුවින් වර්ණවත් කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරනවා. අධිවේගී මාර්ගයකට ඇතුළුවන ස්ථානයේ ඇති දැවැන්ත තොරණ හැඩ වී තිබෙන්නේ රජුගේ සහ බිසවගේ රූප දෙකකින්.

මීට මාසයකට පෙර අවසන් කළ ඉදිකිරීමකට පවා බොහෝ අය රජුගේ තරුණ කළ පින්තුරයක් හෝ රජුගේ විවාහ මංගල්‍යයේ පින්තුරයක් සවි කරනවා.

තායි වැසියන් රජු තවමත් තරුණ ලෙස දැකීමට දක්වන කැමැත්ත ඉන් මනාව පිළිඹිබු කරනවා. සෑම සංචාරක හෝටලයකම රජුගේ රුවින් යුතු පින්තුරයක් තිබෙන අතර තායි වැසියන් දෛනික කටයුතු ආරම්භ කරන්නේ බුදුන් , දෙවියන් සහ රජු වන්දනාමාන කිරීමෙන් අනතුරුවයි.

මංමාවත් රැසකදීද එලෙසම රජු ජනතාවගේ වන්දනාවට පත්‍ර වන අතර “රජු දිනේවා – දීර්ඝායු වේවා ” යනුවෙන් සවි කළ පුවරු ද ලක්ෂ ගණනක් දක්නට පුළුවන්.

ඒවා බලහත්කාරයෙන් කරවූ ඒවා නම් නොවෙයි . තායිලන්තයේ සෑම සිනමා ශාලාවකම චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට පෙර රජු වෙනුවෙන් “වාදනයක්” ඉදිරිපත් කරනු ලබන අතර එවිට සියලු තායි ජාතිකයන් සිය අසුන් වලින් නැගී සිටිනවා.

එම වාදනය අවසන් වන්නේ “රජු දිනේවා – දීර්ඝායු වේවා ” යනුවෙන් සඳහන් කරමින්. සිනමා ශාලාව තුල සිටින විදේශිකයන් පවා එම අවස්ථාවේදී නැගී සිට රජුට ගෞරව කරනු ලබනවා.

මේ අසහාය භක්ත්‍යදරයට පත්‍ර වීම, සුළු පටු පින් මහිමයක් නොවන බව තායිලන්තයට පළමු වරට යන්නෙකුට පවා අවබෝධ වන අපුර්වත්වයක්.





























_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තායිලන්ත රජුගේ දේහය දින 100ක් මහජන ගෞරවයට"

    Post a Comment