31 August, 2016

පාසැල් යන ගමන් ‘අද පිටියට පිවිසෙන’ නවක තරුව මෙන්න

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දු අද ශ්‍රී ලංකා එක්දින තරග වරම් දිනාගනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

වීරහැන්දිගේ ඉනෝල් අවිශ්ක ප්‍රනාන්දු නම් වන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීම් ලබන්නේ පළමුපෙළ තරගවලට සහභාගීවීමටත් පෙර වීම විශේෂත්වයක්.

1998 වසරේ අප්‍රේල්මස 05 දා උපන් දකුණත් පිතිකරුවෙක් වන ඔහු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙක් වනවා.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනේක පුදුම සහගත තෝරාගැනීම වූ වමතින් පා දගපන්දු යවන අමිල අපොන්සො එම විද්‍යාලයේම ඉගන ගනිමින් සිටි සිසුවෙක් වීමය.

අවිශ්ක පාසලේ 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනවිට වයස අවුරුදු 16 ක් පමණක් වූ අතර 2015 පාසල් ක්‍රිකට් වාරයේ ලකුණු 1000 ඉක්මවීමට ඔහු සමත්වුණා.

19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සිය දෙවන තරගයේදීම සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දු 103 දී ලකුණු 127 ක් ලබා ගත්තා.

බංගලාදේශයේ පැවති 2016 වයස 19 පහළ අයිසීසී ලෝක ශුරතා තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 185 ක් හඹා යන්නට පිටියට පැමිණි කණ්ඩායමේ නායකයා ලෙස සිය වගකීම ඉටු කරමින් මෙම ක්‍රීඩකයා පන්දු 95 දී ලකුණු 96 ක් ලබා ගත්තා.

19 න් පහළ ක්‍රිකට් තරග වලදී අවිශ්ක ඉතාම ඉහළ දක්ෂතා පෙන්වා ඇත්තේ ඕස්ට්‍රෙලියානු හා එංගලන්ත කණඩායම්වලට එරෙහිවයි.

19 න් පහළ තරගාවලි වලදී ඔහු එංගලන්තය සමග තරග 6 ක්‍රීඩාකර ලකුණු 420 ක් රැස් කළ අතර තරගයක ලකුණු ගැනීමේ සාමාන්‍ය 70 ක්වුණා.

ඕස්ට්‍රෙලියාවට එරෙහිව තරග 5 දී ලකුණු 387 ක් ලබාගෙන ඇති ඔහුගේ ලකුණු ගැනීමේ සාමාන්‍ය 61.33 ක් ලෙස සටහන් ව තිබෙනවා.





(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාසැල් යන ගමන් ‘අද පිටියට පිවිසෙන’ නවක තරුව මෙන්න"

    Post a Comment