18 September, 2017

ටියුනීසියාව: මුස්ලිම් නොවන පුරුෂයෙකු හා විවාහ වීමට කාන්තාවන්ට නිදහස

tunisia-non-muslim-marriage
-සිය අයිතිවාසිකම් දිනා ගැනීමට ටියුනීසියාවේ කාන්තාවෝ සටන් කළහ

මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කරනු ලැබ තිබේ.

එරට ජනාධිපති බේජි එසේබ්සිගේ ප්‍රකාශිකාවක විසින් ඒ බව නිවේදනය කරන ලද අතර "සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහස" දිනා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් වෙත සුබපතනු ලැබීය.

මෙතෙක් පැවති නීතියට අනුව ටියුනීසියානු ජාතික කාන්තාවක හා විවාහපත් වීමට බලාපොරොත්තු වන අන්‍යාගමික පුරුෂයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත යුතුය.

විවාහයට පෙර ඒ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමත් අනිවාර්ය වේ.

99% මුස්ලිම් භක්තිකයන් වෙසෙන ටියුනීසියාව කාන්තා අයිතීන් අතින් ඉහළ ප්‍රගතියක් අත්කර ගත් අරාබි රටවල් අතරින් එකකි.

අන්‍යාගමික පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් 1973 දී ක්‍රියාත්මක කරන ලද නීතිය ඉවත් කිරීමට ජනාධිපති එසේබ්සි විසින් අනුබල කරනු ලැබීය.

ජාතික කාන්තා දිනය සමරමින් පසුගිය මාසයේ පැවති උත්සවයක් ඇමතූ ජනාධිපතිවරයා විසින් පැරණි විවාහ නීතිය හඳුන්වනු ලැබුවේ "සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහසට ඇති බාධාවක්" ලෙසය.

ස්ත්‍රී දූෂණ

පැරණි විවාහ නීතිය, අරාබි වසන්තයත් සමග 2014 වසරේ සම්මත කර ගන්නා ලද නව ව්‍යවස්ථාවට පටහැණි බවත් සැලකිණි.

විවාහ තහනම ඉවත් කිරීම සඳහා ටියුනීසියාවේ මානව හිමිකම් සංවිධාන ද හඬ නැගූහ.

නව නීතිය බලාත්මක කිරීමත් සමග යුවලකට ආණ්ඩුවේ කාර්යාලයක් තුළ සිය විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාව හිමි වේ.

ස්ත්‍රී දූෂණයක් සිදු කළ අයෙකු එම තරුණිය හෝ කාන්තාව විවාහ පත් කර ගන්නේ නම් දඬුවම් ලැබීමෙන් මිදී සිටීමට හැකි වන පරිදි සකසා තිබූ වගන්තියක් ඉවත් කෙරෙන නව නීතියක් හඳුන්වා දීමටත් ටියුනීසියාවේ පාර්ලිමේන්තුව පසුගිය ජුලි මාසයේ කටයුතු කළේය.

ටියුනීසියාව විසින් බහු භාර්යා විවාහය තහනම් කරනු ලැබුවේ 1956 වසරේදීය.

කෙසේ නමුත් ටියුනීසියාවේ කාන්තාවෝ තවමත් වෙනස්කම්වලට ලක් වෙති.

විශේෂයෙන් පරම්පරාවෙන් උරුම වන දේපළ සම්බන්ධයෙන් දියණියන්ට වඩා පුතුන්ට ප්‍රමුඛතාවක් හිමි වේ.

එරට කාන්තාවන්ගෙන් 70% පමණ වධ හිංසාවලට ලක්වන බවට කාන්තා අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඇස්තමේන්තු කර තිබේ. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටියුනීසියාව: මුස්ලිම් නොවන පුරුෂයෙකු හා විවාහ වීමට කාන්තාවන්ට නිදහස"

    Post a Comment