30 August, 2017

ලෝකය ආප­ස්සට කැර­කීම

life-without-plastic
“ලෝකේ ආපස්සට යනවා වාගේ නේද ටොම්සන් මහත්තයා...” කියා ඇසුවේ උන්නැහේය.

”ඒ මොකෝ උන්නැහේ... නිකං කැරකෙනවා වාගේද... ”කියා ටොම්සන් මහත්තයා කොචොක් පාරක් දැම්මේය.

”එක අතකට ඒ වාගේ තමයි... දැන් බලන්ඩ...පොල් මහත්තුරු පොල් ගෙඩි ගාන්න එපා... කිරි ගන්න කියලා කියනවා... ආයෙත් කාලයක් ගියාම කියයි... ඒක හරි යන්නේ නෑ... පොල් ගෙඩි ගාලා ගන්න කියලා.. ඒ වගේ තමයි... දැන් ඔය පොලිතින් ආපුවාම හැමෝම හිතුවානේ මාර ජොලි වැඩක් කියලා... පොලිතින් පාවිච්චියට නොගත්තේ මොකකටද කියලා හිතන්නත් බැරි තරම්. දැන් ඔය පොල් කෙන්දෙන් හදාපු කොස්සත් ප්ලාස්ටික් වුණා නේ... ටොම්සන් මහත්තයාට මතකද ඒ කාලේ ඔය සමුපේ කඩේට ගිහින් කඩදාසි ගොට්ටේ ඔතාපු හාල්මැස්සෝ රාත්තල් භාගයයි. පරිප්පු රාත්තල් කාලයි අරන් ආවා.. ආයෙත් ඒ කාලෙට තමයි යන්න වෙන්නේ...” කියා උන්නැහේ බොහෝ සන්තෝසෙන් කීවේය.

”කමක් නෑ... මේ ලෝකේ මිනිස්සුන්ට මට්ටු වෙන්නත් එක්ක ඒක හොඳයි... සිලි සිලි මලූ නැත්තං මොකක්වත් කරන්න බැරිව නේ මිනිස්සු හිටියේ.. දැන් ඔන්න ආයෙත් ආපස්සට තමයි යන්න වෙලා තියෙන්නේ...” කියා කියමින් ඇම්බන් මහත්තයාත් එතැනට ආවේය.

”ඒක නම් ඇත්ත තමයි... මාත් මේ බලා ගෙන ඉන්නේ පළවෙනිදායින් පස්සේ මොනවා වෙයිද කියලා.. ඉස්සර කාලේ මතකද ඇම්බන් මහත්තයා... ඔය බත් පිඟාන් පාගන බයිසිකලේක පිටි පස්සේ බැඳලා කන්තෝරුවලට ගෙනත් දෙනවා... බොහොම අපූරුවට.. දැන් ආයෙත් ඒ කාලේට යන්න වෙයි.. සමහර විට බත් කදවල් හෙමත් ආයිත් එන්න බැරි නෑ...”

”මං මේ කල්පනා කළේ ආයිත් සැරයක් පන් මලූවල, රෙදි මලූවල විතරක් නෙවෙයි ගෝනි මලූවලත් බඩු ගෙනියන්ඩ වෙයි... එකත් එකටම මේකෙන් කාටද වාසි වෙන්නේ... අන්න මේ රටේ කුඩා කර්මාන්ත නිෂ්පාදනවලට හොඳ කලක් එන වැඩක්...” කියා ටොම්සන් මහත්තයා බොහොම සන්තෝසෙන් කීවේය.

”ඒ කිව්වේ...” කියා උන්නැහේ ඇසුවේ පුදුමයෙනි.

”ඇයි උන්නැහේ... ඔය පන් මලූ විවිල්ල, රෙදි මලූ හැදිල්ල අයිති වෙන්නේ කුඩා කර්මාන්ත ගොඩට නේ.. ඉන්න මං කුඩා කර්මාන්ත ලොක්කෙකුට කතා කරලා බලන්ඩ.. මේක තමයි වෙලාව උන්නැහේලාට ගොඩ එන්න.. මුළු රටටම පන් මලූ, රෙදි මලූ ආයිත් පුරුදු කරන්න පුළුවන්...” කියා කියමින් ටොම්සන් මහත්තයා ජංගම දුරකථනය අතට ගත්තේය.

”හලෝ... ඔය කුඩා කර්මාන්ත ලොක්කෙක්ද...”

” නෑ... නෑ... මං කුඩා කර්මාන්ත පොඩ්ඩෙක්... ඉතින් මොකක්ද ටොම්සන් මහත්තයා ප්‍රශ්නේ.. දන්න දේකට නම් උත්තර දෙන්නම්...”

”මං දන්නේ නෑ.. පොඩ්ඩෙකුට මේකට උත්තර දෙන්න පුළුවන්ද කියලා... මං මේ අහන්නේ... දැන් ඔය පොලිතින් තහනම් කරලා නේ තියෙන්නේ... මේ තහනම් කරන එක හුඟක් කාලයක් ඉඳලා තිබුණු කතා බහක් නේ.. ඉතින් මේක තමයි අවස්ථාව මුළු රටටම පන් මලූ, රෙදි මලූ ආයිත් පුරුදු කරන්න.. හැබැයි ඉතින් බොහොම අලංකාර විදිහට ඒවා හදන්න ඕනෑ... අනික ටිකක් මිල අඩු වෙන්නත් ඕනෑ...පහසුවෙන් හැම තැනින්ම මිල දී ගන්නත් පුළුවන් වෙන්න ඕනෑ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

”අර කිව්වත් වගේ.. ඒ කතාව නං ඇත්තයි... ඕක ඇත්තටම කියන්න ඕනෑ... අපේ ලොක්කෙකුට තමයි... හැබැයි මේ වෙලාවේ නිදි... මං බලන්නං ඇහැඇරලාද කියලා...” කියා පොඩ්ඩා කීවේය.

”කමක් නෑ... බලන්නකෝ...” කියා ටොම්සන් මහත්තයාත් දුරකථනය කනේ ගසා ගෙන සිටියේය.

”අර කිව්වත් වාගේ.... නිදි තමයි.. මං හිතන්නේ හුඟ කාලෙකට ඇහැරෙන එකක් නෑ...” කියා පොඩ්ඩා කීවේය.

”මං හිතුවා.. මොකද මේ පොලිතින් තහනම එන කොටම ඒකේ වාසිය ගන්න කුඩා කර්මාන්ත උදවිය පන් මලූ,... රෙදි මලූ ආදිය හදලා වෙළෙඳ පොළට දාලා ලොකු වැඩසටහනක් ගෙනියන්න එපායැ... අද කාලේ ප්‍රචාරණේ තියෙනවා නම් ඕනැ දෙයක් පුරුදු කරන්න පුළුවන්.. ඉතින් මේකත් හරියට ප්‍රචාරය කළා නම් මිනිස්සු - ගෑනු - ළමයි අපූරුවට උජාරුවට පන් මලූ, රෙදි මලූ එල්ලා ගෙන කඩවල්වලට යයි.

කිසි කන් කෙඳිරියක් නැතිව ඒවායේ බඩු මුට්ටු දාගෙන එයි. ඒ විතරක් නෙවෙයි.. දැන් බලන්ඩ ආයිත් කෙසෙල් කොළයටත් තැනක් ආවානේ.. ඒකත් එක විදිහකට කුඩා කර්මාන්තම තමයි.. ඉතින් දැන් කෙසෙල් කොළ කැපිල්ලත් ගමට අලූත් ආදායමක් එන වැඩක්.. කොච්චර හොඳයිද... ” කියා ටොම්සන් මහත්තයා බොහොම සන්තෝසෙන් කීවේය.

”ඒක නම් එහෙම තමයි... ” කියා කුඩා කර්මාන්ත පොඩ්ඩා කීවේය. ” කොහොම වුණත් මං ලොක්කා ටිකකට හරි නැඟිට්ටාම මේ ගැන කියන්නම්... පහු වෙලා හරි වැඩ පටන් ගනියි නේ...”

”ඒක තමයි... එහෙනං කියන්න අපි මේ බලා ගෙන ඉන්නවා කියලා...” කියා ටොම්සන් මහත්තයා දුර කථනය විසන්ධි කළේය.

”මේක නේ ඇම්බන් මහත්තයා වැඩේ... දැන් ඔය කුඩා කර්මාන්ත කියන්නේ රජයේ දෙපාර්තමේන්තුවක් නේ.. ඒකේ ලොක්කෝ කියන්නේ ඔය පරිපාලනේ උදවිය නේ...මේ වෙලාවේ පොලිතින් තහනම් කිරීමේ වාසිය අතට ගන්න නොදන්නා නින්දේ ඉන්න මේ වගේ නිලධාරීන් එක්ක තමයි අපේ රටට සංවර්ධන ගමන යන්න වෙලා තියෙන්නේ... ” කියා ටොම්සන් මහත්තයා බොහෝ කනස්සල්ලෙන් කීවේය.

”කමක් නෑ ටොම්සන් මහත්තයා.. අපි පටන් ගනිමු.... මං හෙට පොළට ගිහිල්ලා ඔය ගමේ අත්තම්මා කෙනෙක් ගෙනල්ලා තියෙන පන් මලූ දෙක තුනක්ම අරන් එන්නම්.. සමහර විට ඔය අත් යන්ත්‍ර රෙදි මලූත් තියෙන්න පුළුවන්.. ඒවායින් දෙක තුනකුත් අරන් එන්නම්... එතකොට අපිටවත් සන්තෝස වෙන්න පුළුවන් නේ... ” කියා ඇම්බන් මහත්තයා කීවේය.

”ඒක තමයි මං කිව්වේ... ලෝකේ ආපස්සට කැරකෙනවා කියලා.. මං කියාපු දේ වැරදුණේ නෑනේ..” කියා උන්නැහේ බොහෝ සන්තෝසෙන් අත්පුඩි ගැසුවේය.(බන්දුල පී දයා­රත්න -
දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකය ආප­ස්සට කැර­කීම"

    Post a Comment