20 August, 2017

ලොකු ලොකු පූස් පාට්

mister-meatan-with-baren-nichola-couple
බැරන් - නිකොලා යුවළ සමඟ මිස්ටර් මීට්න්
අගෝස්තු අටවැනිදා දවසේ හඬ වූයේ ‘ඤාව්’ ය. දින දසුනේ අගෝස්තු 8 වැනිදා පූස් සුරතලුන් වෙනුවෙන් වෙන්කර තිබීම එහි රහසයි. පුරු පුරු හඬින් අප වටා දැවටෙන මේ දඟකාර සුරතලුන් ගැන කතා කරද්දී එදින ලොව වැඩිපුරම අවධානය යොමු වුණේ කුඩාම මහද්වීපයේ සුවිශාල නගරයක් වෙතයි. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර වෙතයි. හේතුව නම්, බිළාල ‍ලෝකයේ අගනුවර මෙල්බෝන් බව වැඩි දෙනකුගේ විශ්වාසය වීමයි.

මෙල්බෝන් , කෝපිවලට පමණක් නොව බළලුන්ට සෙනෙහස දක්වන ජනතාවක් සිටින ප්‍රදේශයක් ලෙසද ප්‍රසිද්ධයි. එය එසේ බවට තහවුරු කරන සාධකද බො‍හෝය.

විශාල බළලා ඔමාර්

‘ඔමාර්’ පර්සියානු බළල් සුරතලාගේ මහ ගෙදර ඇත්තේ මෙල්බර්න්වල ය. ඌ සාමාන්‍ය බළලකුට වඩා තෙගුණයක් විශාලය. එම නිසාම ඔමාර් අන්තර්ජාල තරුවක් බවටද පත්විය. කිලෝග්‍රෑම් 14 ක් බර ඔමාර්ගේ හිමිකාරිය ස්ටෙෆි හර්ස්ට් ය. ඔමාර් බළලා ගිනිස් පොතට එක්වී ඇත්තේ ලොව දිගම බළලා ලෙස ය.

ඔමාර් දොරවල්, කබඩි, ෂවර්, අල්මාරි ඇරීමටද රුසියෙකි. මෙතරම් විශාල ශරීර ස්කන්ධයක් තිබුණද ඌ කෑමට ගන්නේ කැන්ගරු මස් පමණි. ඔමාර්ගේ සමාජ ජාල වෙබ් ගිණුමේ ඡායාරූප 270,000 වරකට වඩා ‘ෂෙයාර්’ (බෙදාහදාගෙන) කරගෙන තිබේ. 2013 පූස් පැංචකු ලෙස ස්ටෙෆි හර්ට්ගේ නිවෙසට ඔමාර් කැන්දා විට ඌ හා ඒ වය‍සේ අනෙක් පූසන් අතර වෙනසක් තිබී නැත. ‍මේ අසාමාන්‍ය ශරීර ස්කන්ධය ඌ දැන් ලෝ ප්‍රකට තරුවක් කිරීමට සමත් වී ඇත.

එරට පළමු බළල් අවන්හල

2014 වසරේදී එරට බළල් ලෝලීන් සිය සුරතලුන් සමඟ පේළි ගැසී සිටියේ තම සිවුපා සාමජිකයන්ට බඩකට පුරා සංග්‍රහ කිරීමටය. ගිල්ෆෝඩ් මාවතේ පිහිටි මේ අවන්හලට වසරකට අයිතිකරුවන් සමඟ බළලුන් දහස් ගණනක් පැමිණෙති.

මුල්ම පූස් අවන්හල 1998 දී තායිලන්තයේ ඉදිවුණු අතර ඉන්පසු එය ලොව පුරා ප්‍රචලි විය.

මුල්ම පූස් සන්දර්ශනයේ අනුග්‍රහය

ප්‍රදර්ශනය කිරීමට බොහෝදේ සතු පුරු පුරු මිතුරා සුනඛයන්ටද අභියෝගයක් වෙමින් බළල් සන්දර්ශනවලට සහභාගී වේ. රාජකීය ගොඩනැඟිල්ලේ ලබන වසරේ සැප්තැම්බර් 8, 9 පැවැත්වෙන යෝධ බළල් සන්දර්ශනයකට දැනටමත් සූදානම් වෙමින් පවතී. ලොව පළමු බළල් සන්දර්ශනය 1598 තරම් දුරාතීත‍යේදී එංගලන්තයේ වින්චස්ටර්වල පවත්වා තිබේ. වඩාත් සාර්ථක බළල් සංදර්ශනයක් පවත්වා ඇත්තේ 1871 ජූලි මාසයේ ලන්ඩනයේ ක්‍රිස්ටල් පැලස්වල ය.

තරුපහේ බළල් ‍හෝටල්

ස්පොට්ස්වුඩ් කැටරි තරු පහේ හෝටලයේ පූස් සුරතලකුට රාත්‍රියක් ගත කිරීමට ඩොලර් 80ක් ගෙවිය යුතුය. තනි ඇඳක් නියපොතු සීරීමට තැන්, සීතල උණුසුම් පරිසර, සනීපාරක්ෂක සේවා සියල්ලකින්ම මේවා අංග සම්පූර්ණ ය.

එක් බළල් ස්වාමියෙක් සොළොස් හැවිරිදි බළල් සුරතලාට දින 70ක් මේ හෝටලේ නවාතැන් ගැනීමට දී ඇත්තේ ඩොලර් 5600කට වඩා වියදම් කරමිනි.

රූප සුන්දරයා

ලොව සොඳුරුම පෙනුමක් ඇති බළලා ලෙස නම් දරා සිටින්නේ බැරන් කෝබට්, නිකොලා විල්සන් යුවළගේ මිස්ටර් මිට්න්ය. ඌට ඒ නම පටබැඳුණේ ජනතා මනාපයෙනි. මිට්න් සතු පියානෝ වාදනය කිරීමේ හැකියාව උගේ රුවටත් වඩා ඡන්දය දිනා ගැනීමට හේතුවී තිබේ. මිසටර් මිට්න් මේ යුවළට හමුවී ඇත්‍තේ අනාථයකු ලෙස දොරකඩට පැමිණ සිටියදීය. අලුත් හාම්පුතකු සොයමින් ආහාරයක් නොමැතිව ඇට සැකිල්ලක් මෙන් කෘෂවී සිටි ඌට කෝ බට් - විල්සන් නවාතැන් දුන්නේ ය.

පවුල් බැඳීම

යාරා ග්ලේන් පවුලට සිල්වි බළල් සුරතලා හිටි හැටියේ අහිමිවීම දරාගත නොහැකි පාඩුවක් විය. බළලා 2009 දී අතුරුදන් වූ අතර රට පුරා පෝස්ටර් අලවා නැතිවූ සරල සොයා ගැනීමට වෙහෙසුණද ප්‍රයෝජනයක් ලැබුණේ නැත. ඔවුන් ‍වෙනත් බළල් සුරතලකු ගැන සිතුවත් සිල්විගේ හිස්තැන පිරවීමට මේ ලොව කිසිඳු බළලකුට හැකියාවක් ලැබුණේ නැත. අට වසරකට පසු ඔවුනට සත්ත්ව සහන ස්ථානයක සිල්වි සිටින බවට ඇමතුමක් ලැබිණි. ග්ලේන් පවුලට දැන් ලෝක බළල් දිනය සතුටින් සැමරීමට හැකිවී තිබේ. ටෝස්ට් කළ කුකුළු මස් සංග්‍රහයකින් ග්ලේන් පවුල සිල්වි සාදරයෙන් පිළිගත්තේය.

මෙල්බෝන් වැසියන් හා බළලුන් අතර ඇත්තේ එවැනි යාවජීව සම්බන්යෙකි. එනිසා එය ලොව බළල් අගනුවර ලෙස හැඳින්වීමේ වරදක් තිබෙනවාද? එය ඤාව්වන්ටම ගිය නගරයකි.

චම්පිකා දීපානි රණසිංහ - අන්තර්ජාලයෙනි (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොකු ලොකු පූස් පාට්"

    Post a Comment