09 July, 2017

සිදුහත් යශෝධරා ලංකාවට ඇවිත්



බිම්බා දේවී හෙවත් යශෝධරා මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ අලුත්ම සිනමා සිත්තමයි. තවමත් නිෂ්පාදන අදියරේ පවතින මේ සිනමා පටයේ සුවිශේෂීත්වය වන්නේ බුදුන් වහන්සේගේ ගිහි ජීවිතය තුළ භාර්යාව වූ යශෝධරාව පිළිබඳ ලියැවී, කියැවී ඇති කලා කෘති ප්‍රමාණයේ අල්පතාව මඟහැරීමේ චේතානාව මුල් කරගනිමින් සුනිල් ආරියරත්නයන් මෙම නිර්මාණයට පෙළඹී තිබීමය. ඊට නිෂ්පාදන අනුග්‍රහය ලැබෙන්නේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සරසවි අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාගෙනි.

බිම්බා දේවි හෙවත් යශෝධරා කෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ එහි යශෝධරා සහ සිදුහත් යන ප්‍රධාන චරිත දෙකම නිරූපණයට ඉන්දීය නළුවෙකු සහ නිළියක යොදාගැනීම යි. පල්ලවි සුභාෂ් යශෝධරා චරිතයට පණ පොවන විට සිදුහත් කුමරු ලෙස රංගනයේ නියැළෙන්නේ සිනමාවට මෙන්ම රංගනයටත් නවකයෙකු වන අර්පිත් චෞද්රි ය. ඔවුන් දෙපළ මුල් වරට ලාංකික ප්‍රේක්ෂකයන් හමුවට ගෙනඒමේ මාධ්‍ය හමුවක් ඉකුත්දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැතිණ. ලබන වසරේදී සිදුහත් හා යශෝධරා චරිත ඔස්සේ අපේ සිත්වලට සමීප වීමේ බලාපොරොත්තුවෙන් සිටින චෞද්රි හා පල්ලවි හදසර සමඟ සුහද කතාබහකට එක්වූයේ මෙලෙසිනි.

පල්ලවි ලංකාවේ සිනමා කෘතියකට එක්වීමේ අත්දැකීම කොයිවගේද?

මුලින්ම මම ස්තූති කරන්න ඕන අපේ මහාචාර්යතුමාට. එතුමා මම ගැන විශ්වාසය තියලා මාව තෝරාගත්තු එකට ස්තූතියි. අපි දවස් 45ක් විතර චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වුණා. ඒ කාලය තුළ එකම පවුලක් වගේ හොඳ සම්බන්ධයක් අපි අතර ගොඩනැඟුණා. දැන් ඉන්දියාවට ආපහු යන්නත් දුකයි.

යශෝධරා චරිතය ඔබේ රංගන ජීවිතයට වැදගත්වන ආකාරය ගැනත් කිව්වොත්?

මම මීට පෙර මරාති චිත්‍රපට 12ක විතර රඟපාලා තියෙනවා. ඒ වගේම චක්‍රවර්ති අශෝක ටෙලි නාට්‍ය මාලාවේ දේවී ධර්මාගේ චරිතය ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපාලා තියෙනවා. නමුත් යශෝධරා තමයි මම ප්‍රධාන චරිතයක් රඟපාපු පළවෙනි වතාව. ඒ නිසා ගොඩක් විශේෂයි. නමුත් මම මේ තාක් මුහුණ දුන් අභියෝගාත්මකම චරිත නිරූපණයත් මේක තමා. එතැනදි චිත්‍රපටයේ සමස්ත කාර්ය මණ්ඩලයෙන්ම ලැබුණු සහයට ස්තූති කළ යුතුයි.

යශෝධරා චරිතය ගැන ඔබ අවබෝධ කරගත්තේ කොහොමද?

මාව මේ චරිතයට තෝරාගත්තට පස්සෙ මම ගොඩක් පොත්පත් කියවලා යශෝධරා ගැන දැනුම ලබාගත්තා. එහෙම හොයද්දී මට තේරුම් ගිය දෙයක් තමයි යශෝධරා ගැන නිර්මාණය වුණු හොඳ චිත්‍රපට නැති බව. මාව මේ චිත්‍රපටයට තෝරාගත් වෙලාවෙදි මම මුලින්ම මහාචාර්යතුමාගෙන් අහපු ප්‍රශ්නෙ තමයි ඇයි යශෝධරා ගැන චිත්‍රපටයක් කරන්න හිතුවෙ කියන එක. ඒ වෙලාවෙ එතුමා කිව්වෙ යශෝධරා ගැන සිනමා නිර්මාණයක් තවමත් කෙරිලා නැහැ කියලයි. ඉතින් ඒ කියපු දේ ඇත්ත බව මම පස්සෙ යශෝධරා ගැන හොයද්දි මට තේරුම් ගියා.

භාෂාව ලොකු ගැටලුවක් වුණේ නැද්ද?

මොකද නැත්තෙ? ඒක තමයි මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ. රූගත කිරීමට කලින් හොඳට පෙර පුහුණුවීම් කරන්න අපිට සිද්ධ වුණා. මහාචාර්යතුමාත් ඒ පෙර පුහුණුවීම් ගැන ගොඩක් සැලකිලිමත් වුණා. හැබැයි ටික දවසකින් භාෂා ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වුණු නිසා මට චරිතය ගැන වැඩි අවධානයක් යොමුකරන්න පුළුවන් වුණා.

ඉන්දියාව කියන්නෙ දැවැන්ත සිනමාවක් තියෙන රටක්. සිනමාව පැත්තෙන් ලංකාවයි ඉන්දියාවයි සංසන්දනය කළොත්?

රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහට අපිට වැදගත් වෙන්නෙ ඒ කිසිම දෙයක් නෙමේ චරිත නිරූපණයයි. කොයි වගේ හොඳ අභියෝගාත්මක චරිතයක් ද අපිට ලැබිලා තියෙන්නේ කියන දේයි වැදගත්.

අපි ඊළඟට කතා කළේ චෟ‍ෙද්රි එක්ක

චෞද්රි යශෝධරා රෑගත කිරීම් දැන් අවසන්. මොනවගේ හැඟීමක් ද තියෙන්නේ ඒ ගතවුණු කාලය ගැන?

මමත් මුලින්ම මහචාර්ය සුනිල් ආරියරත්නට ස්තූතිවන්ත වෙනවා මාව සිද්ධාර්ථ චරිතයට තෝරාගැනීම ගැන. ඇත්තටම මම සිනමාවට නවකයෙක්. ඒ නිසා මාව මේ චරිතයට හැඩගැස්වීමේ ගෞරවය අපේ අධ්‍යක්ෂතුමාට ලැබිය යුතුයි. අනික් කාරණේ තමයි ඉන්දියාවට ඇවිල්ලා මහාචාර්යතුමා අපිව හමුවුණු වෙලාවෙ අපි ඔහු ගැන දැනගෙන හිටියෙ නැහැ. මෙහේ ආවට පස්සෙ තමයි දැක්කෙ ලංකාවේ මිනිස්සු එයාට කොච්චර ගරැ කරනවද? එයාට වැඳ නමස්කාර කරනවද කියලා. හැබැයි එයා හැසිරෙන්නේ අපි හැමකෙනෙක්ම එක වගේ කියලා හිතාගෙනයි. නමුත් ඒක වැරදියි. එතුමා ළඟ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතුමාගෙ දැනුම, මනුස්සකම වගේ ගොඩක් වටිනාකම් මට පහුගිය කාලෙදි අත්දකින්න ලැබුණා. ඉතින් චිත්‍රපටය නිසා පෞද්ගලිකව මගේ ජීවිතයටත් ලැබුණු පාඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා.

සිදුහත් චරිතය නිරූපණය කිරීම අමාරු වුණේ නැද්ද?

ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයින් වැඩි ප්‍රමාණයක් ඉන්න රටක්. එයාලා බුදුන් වහන්සේට කොයිතරම් ආදරේ ද කියනදේත් හැමවෙලේම මනසේ තියාගෙන තමයි මම වැඩ කළේ. මම හින්දු පවුලක කෙනෙක් වුණත් පෞද්ගලිකව බුදු දහමට සමීපයි. හිතට දුකක් දැනුණු අවස්ථාවලදි දලයි ලාමාගේ දේශනාවලට ඇහුම්කන් දීම මගේ පුරැද්දක්. ඒ නිසා මාව මේ චරිතයට තෝරාගනිද්දිත් මට සිදුහත් චරිතය ගැන යම් අවබෝධයක් තිබුණා. භෞතික දේවල් පස්සේ හඹාගෙන යන ජීවිතයේ ඇත්ත වටිනාකම් ගැන මේ චිත්‍රපටයේ කතාවෙනවා. මටත් ගොඩක් පාඩම් ඒක ඇතුළෙ තිබුණා.

සිදුහත් චරිතය නිරූපණය කළ රංගන ශිල්පියා විදිහට අද කාලේ තාරුණ්‍යයට මේ වගේ චිත්‍රපටයකින් මොනවගේ බලපෑමක් වෙයි කියලා ඔබ හිතනවද?

හැමකෙනෙක්ම සිදුහත් චරිතය ගැන දන්නවා. නමුත් අපි මේ චිත්‍රපටයේ රඟපාද්දි වැඩි උත්සාහයක් ගත්තේ මිනිසුන්ට තමන්ගේ ජිවිතයේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ වැදගත්කම ගැන අවබෝධයක් ලබාදීමට යි. තමන් ජීවිතයේ වැදගත් දේවල් කියලා හිතාගෙන ඉන්න දේවල් ඇත්තටම වැදගත් දේවල්ද? අපි මේ හඹාගෙන යන ජීවිතය වැදගත් එකක්ද වගේ ගොඩක් දේවල් ගැන නැවත හිතන්න තරුණ තරුණියන්ට මේ චිත්‍රපටය අවස්ථාවක් නිර්මාණය කරදේවි.

ඔබට තියෙන්නෙ හින්දු පවුල් පසුබිමක්. බෞද්ධ සංස්කෘතික පසුබිමට ඒ දේවල්වලට හැඩගැහෙන්න අපහසුවක් තිබුණද?

මම හිතන විදිහට බෞද්ධ හෝ මුස්ලිම් හෝ පන්ජාබි හෝ කියා වෙනම සංස්කෘතියක් නැහැ. තියෙන්නේ මූලික මිනිස් වටිනාකම් එකතුවක්. සිදුහත් චරිතය තුළින් මට නිරූපණය කරන්න තිබුණෙත් ඒ විදිහේ සෑම මනුෂ්‍යයෙක්ටම පොදු වුණු ගුණාංග සමූහයක්. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වුණේ නැහැ.

ලංකාවේ නළු නිළියන් එක්ක රඟපෑමේ අත්දැකීම ගැනත් කිව්වොත්?

ඇත්තටම චිත්‍රපටයේ අනෙක් චරිත නිරෑපණය කරපු පිරිස නිසා මගේ රංගනය ගොඩක් පහසු වුණා. පල්ලවි වගේම දෙව්දත් චරිතය කරපු දිනෙත් සිල්වා, මගේ පියා ශූද්ධෝදන් චරිතය කරපු අජිත් වීරසිංහ, මගේ මව මහාමායා චරිතය රඟපෑ සංගීතා තෙදානි, මගේ හොඳම මිතුරා චන්න විදිහට රඟපාපු ශම්මු කසුන් ඇතුළු සියලු දෙනා මගේ රංගනයට ලොකු සහායක් දුන්නා. විශේෂයෙන් සිංහල භාෂාව උච්චාරණය කරද්දී ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. නමුත් කණ්ඩායමෙන් විශාල සහායක් ලැබුණා.

එහෙනම් දැන් සිංහල කතාකරන්නත් පුළුවන් ඇති?

ඔව් ටිකක් විතර පුළුවන්. (ඉතිරි ටික ඔහු කීවේ සිංහලෙනි) ලංකාව ලස්සන රටක්. මම ශ්‍රී ලංකාවටත් ආදරෙයි. මම ඔයාලටත් ආදරෙයි. (අනතුරුව ඔහු සෝමතිලක ජයමහ ශූරීන්ගේ ආදරයේ උණුසුම ළඟ ගීතයේ පද පේළි කිහිපයක් ද අපූරුවට ගැයුවේය)

ලංකාව ගැන මොකද හිතෙන්නෙ?

ලංකාව ලස්සනයි වගේම ලංකාවෙ මිනිස්සුත් හරිම හොඳයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලින් ලංකාවේ මිනිස්සු ගොඩක් දේවල් ජීවිතයට අරගෙන තියෙනවා කියලයි මට හිතෙන්නෙ.



► Text - Rajitha / Pic - Sumudu (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිදුහත් යශෝධරා ලංකාවට ඇවිත්"

    Post a Comment