23 June, 2017

සැබෑ වීරයෝ?

army soldier flood rescue

ගංවතුර හා නායයාමේ විපත අවස්ථාවේ ආණ්ඩුව ආරක්ෂක හමුදා යොදා කාර්යක්ෂම ලෙස සහන සැලසීම නිසා ආරක්ෂක අංශවල කීර්තිය ඉහළ ගිය බව පෙනෙන්නට ඇත. විපක්ෂය පවා කීවේ හමුදාවල ක්‍රියාකාරිත්වය විශිෂ්ට බවයි. හමුදාව යොදවා ජනතාවට සහන සලසා ආණ්ඩුවට දොස් කියන ගමන් හමුදාවට හොඳ කියන්නට ඔවුනට සිදුව තිබිණි. ඒ යථාර්ථය සැඟවිය නොහැකි නිසාය.

එලෙස එම කටයුත්තේදී හමුදාව ‍යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ නිසාදෝ දැන් වෙනත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්නටත් හමුදාව කැඳවන්න ඉල්ලන තත්ත්වයක් මතුව තිබේ. කොළඹ කුණු ගොඩ ගැසීමේ ප්‍රශ්නයටද හමුදාව ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් වූයේ ඒ නිසා විය හැකිය. එසේ වෙතත් ඒ සඳහා හමුදාව නොයොදන බව රජය ප්‍රකාශ කොට ඇත. එය හමුදාවේ ගෞරවය රැකගැනීම සඳහා ගත් තීරණයක් විය හැකිය. කෙසේ වෙතත් ජන ජීවිතයේ අත්‍යවශ්‍ය හදිසි කාරණයකදී මිස සෑම අවස්ථාවකදීම හමුදා කැඳවීම සුදුසු නැත.

ඒ අතර හමුදා ගැන වෙනත් කතාද අසන්නට ලැබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ භික්ෂූන් වහන්සේ හා රණවිරුවන් තරම් මේ ආණ්ඩුවෙන් බැටකන පිරිසක් තවත් නැති බවය. එම කතාව අහන විටම කෙනෙකුගේ සිහියට නැ‍ඟෙන ප්‍රශ්නයක් වන්නේ මේ කියන රණවිරුවන් හා භික්ෂූන් වහන්සේ කවුද යන්නයි.

මේ රටේ සිටින බහුතරයක් භික්ෂූන් වහන්සේ ආගමික කටයුතු කරමින් සසුනේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින් මහජනයාගේත් රජයේත් ගෞරවයට පාත්‍ර වෙමින් වැඩ වාසය කරති. දේශපාලනඥ‍යෝ නිතර උන් වහන්සේලා හමුවෙති. අවවාද අනුශාසනා ලබති. මහින්ද රාජපක්ෂ මහතාද මල්වට්ටි රැගෙන පන්සල් ගානේ යන්නේ ජනමාධ්‍යයද කැන්දාගෙනය. එම පන්සල්වල වැඩ වසන භික්ෂූන් වහන්සේලාද සුවසේ සිටින බව ඉතා පැහැදිලිය . ආණ්ඩුවෙන් බැටකන භික්ෂූන් වහන්සේලා කවුදැයි ප්‍රශ්නයක් නැගෙන්නේ ඒ නිසාය.

කරදර කාටද?

රණවිරුවන් ගැන කතාවද ඒ හා සමානය. ආරක්ෂක හමුදාවල සේවය කරන, ‍සේවය කළ බහුතරය සමාජයේ ජීවත්වන්නේ ගෞරවනීය ආකාරයෙනි. ගංවතුර, නායයාමේ විපතේදී ඔවුන් කළ සේවය කාගේත් ඇගයුමට ලක්විය. අතීතයේදී යුද බිමේදී කළ සේවයද ජනයා තවමත් සිහිපත් කරති. ඔවුන්ට මහජනයාගේ ගෞරවය මෙන්ම පිළිගැනීමක්ද තිබෙන බව කවුරුත් දන්නා කාරණයෙකි. රජයෙන් බැටකනවා කියන රණවිරුවන් කව්දැයි ප්‍රශ්නයක් පැන නගින්නේ ඒ නිසාය.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල තවත් කතාවක් කියා තිබිණි. එනම් ජී. එස්. පී. ප්ලස් එතරම් වැඩකට නැති බවයි. එයින් රටේ ආර්ථිකයට එතරම් වාසියක් නැති බව කියන ගමන් ඔහු කීවේ තමන් එය අතහැරියේ එය ලබාගන්න නම් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ පරීක්ෂා කිරීමට සිදුවන නිසා බවයි. එය අමූලික බොරුවක් බව පැහැදිලිය. දැන් ජී. එස්. පී. ප්ලස් ලැබී ඇත්තේ එබඳු පරීක්ෂණයක් නැතිවය. එයට අදාළවන්නේ ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුති ක්‍රියාවට නැඟීමයි. කම්කරු අයිතිවාසිකම්. මානව හිමිකම් හා පරිසරය රැකගැනීම ආදියට අදාළ සම්මුති 27ක් ක්‍රියාවට නැඟීම අවශ්‍යවීය. එයට රණවිරු කතාවක් ඈඳාගන්නේ වෙනත් ප්‍රශ්න වසාගැනීමට බව පැහැදිලිය.

රාජපක්ෂ පාලනය යටතේ ජී.එස්. පී. ප්ලස් සහනය නැතිකරගත්තේ එය වැඩකට නැති නිසාවත්, රණවිරුවන් බේරාගැනීම සඳහාත් නොවන බව මෙරට ජනතාව දන්නා කාරණයකි. එය නැතිකරගත්තේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අවස්ථාව රැකගැනීමටය. උද්ඝෝෂණ කළ වුන්ට වෙඩි තබා මරාදමන්නට ඉඩ තබා ගැනීමටය. කම්කරුවන්ට තර්ජන ගර්ජන කරන්නටය. පහරදෙන්නටය. මාධ්‍ය වේදීන් පැහැරගෙන ගොස් අතපය කඩා දමන්නටය. මහමග මරා දමන්නටය. ඒ සියල්ල මඟින් රටම භීෂණයේ තබාගෙන පාලනය කරන්නටය. ඒ මේ ර‍ටේ ජනතාව දන්නා කතාවයි. 2015 ජනවාරි අටවැනිදා මේ රටේ ජනතාව තිත තැබුවේ එම ක්‍රියාවලියටයි.

මෙරට ජනාධිපති තනතුරට රාජපක්ෂ හා තරග කළ ඔහුගේම පක්ෂයේ හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයදා ආරක්ෂිත ස්ථානයක සැඟවී සිටි බව කවුරුත් දන්නා කරුණකි. මැතිවරණය පැරදුනා නම් තමන්ට දැන් ඉන්න වෙන්නේ පොළොවේ අඩි හයක් යට බව කීවේ ඒ ජනාධිපතිතුමාය. ඒවා විහිළුකතා නොවේ. මේ රටේ තිබුණේ එහෙම පාලනයකි.

මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝල බාලයනුත් රණ විරුවන් කියන්නේ සැබැවින්ම රණබිමේ සටන් කළ පිරිසට නොවේ මෙම භීෂණ පාලනයට යොදාගත් අපරාධකාරී කණ්ඩායම්වලටය. මිනිසුන් පැහැරගෙන අතුරුදන් කළ වුන්ය. පහරදී අතපය කැඩූ උදවියයි. නිරායුධ ජනයාට වෙඩි තැබූ අයයි. දැන් මේ අයට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමත්, අත්අඩංගුවට ගැනීමත් නඩු පැවරීමත් මොවුනට රුස්සන්නේ නැත. රණවිරු දඩයම කියා කියන්නේ මේ අපරාධකාරයින් නීතිය ඉදිරියට පැමිණවීමයි. ඇත්ත කතාව ඒකය.

භීෂණය වපුරන්නෝ

භික්ෂුන් වහන්සේලා ගැන කතාවද ඒ හා සමානය. භික්ෂූන් වහන්සේලා අති බහුතරය ධර්මානුකූලව වැඩ වසන අතර උන්වහන්සේලාට කිසිදු කරදරයක් සිදුවී නැත. ඒ අතර මැරවරයින් ලෙස හැසිරුණු චීවරධාරීන් සුළු පිරිසක් මෙරට ජනවාර්ගික ගැටුම් වර්ධනය කළහ. වෙනත් ආගමිකයන්ට ජාතිකයන්ට තර්ජන ගර්ජන කළහ. පහ රදීම් සඳහා උසිගැන්වීම් කළහ. උසාවියට පොලිසියට පවා තර්ජන ගර්ජන කළහ . මොවුන්ගේ ප්‍රචාර නිසා ජනවාර්ගික ගැටුම් ඇතිවී දේපළ විනාශ වූ බව කවුරුත් දන්නා කාරණයකි. එම සුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මකවන විට ඒකාබද්ධ විපක්ෂයට හා මහින්ද රා ජපක්ෂ මහතාට ඉවසුම් නැත. එයට හේතුව එම පිරිස ක්‍රියාත්මක වූයේ මොවුන්ගේ වුවමනාව සඳහා වන නිසාය. භීෂණකාරි පාලනය ගෙන යන්නට ජාතිවාදය ඇවිලවීම අවශ්‍යය. ප්‍රභාකරන් නැතිවූ විට වෙනත් සතුරෙක් සොයාගත යුතු වීය. මේ ‍නොයෙක් කල්ලි කණ්ඩායම් බල සේනා හැදුවේ ඒකටය. භික්ෂූන් වහන්සේ කියා කියන්නට වටිනා ගුණාංග මෙම චීවරධාරීන් තුළ තිබුණේ නැත. රාජපක්ෂලා භික්ෂූන් වහන්සේලා බැටකනවා කියා කියන්නේ මෙබඳු කිහිපදෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන එකටය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යුද්ධය අවසන්වී මාස ගණනකට පසුපය . ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටියදීය. ඒ කාලයේ විමල් වීරවංශලා ඇතුළු රාජපක්ෂවාදීන් කීවේ ප්‍රගීත් පැහැරගන්න තමන්ට කිසිම වුවමනාවක් නොතිබූ බවයි. ඔහු වැඩකට නැති අයකු බවයි. ඔහු තමන් විසින්ම සැඟවී සිටින බවද කීහ. ප්‍රගීත් විදේශ රටක සිටින බව ජිනීවාහිදී කීවේ හිටපු නීතිපතිවරයාය. පසුව ඔහු උසාවියට කීවේ ප්‍රගීත් සිටින තැන දන්නේ දෙවියන් පමණක් බවයි. ප්‍රංශයේදී ප්‍රගීත් හමුවූ බවට තව කෙනෙක් ප්‍රකාශ කළේය. ඒත් ඇත්ත හෙළිදරව් වූයේ ආණ්ඩු බලය වෙනස්වී පරීක්ෂණ සිදුකරන විටයි.

ප්‍රගීත් පැහැරගත්තේ හමුදා කණ්ඩායමක් බව දැන් හෙළිදරව් වී අවසන්ය. පැහැරගෙන ගොස් ප්‍රශ්න කළේ රාජපක්ෂ පවුල් ගස ගැන ලියූ ලිපියක් හෝ කාටුන් පොතක් ගැනය. මේ කරුණු හෙළිදරව්වූවිට පරණ තැටිය වෙනස් වූ හැටි කාටත් මතකය.

කොටි ලේබල් ඇලවීම

ඒකාබද්ධ විපක්ෂයටත්, බොදු බල සේනාවටත් දැන් ප්‍රගීත් කොටියෙකු බවට පත්විය. ඒ ප්‍රගීත් පැහැර ගත්තවුන් රණවිරුවන් බව කියන්නටය. ඥාණසාර හිමියන් ඇතුළු බොදු බලයේ කට්ටිය උසාවියට කඩා පැන තර්ජනය කළේ ඒ බව කියමිනි. දැන් නඩු යන්නේ ඒකටය. මොවුන් මෙයට මෙහෙයවන ලද්දේ කා විසින්ද කියා අමුතුවෙන් කිවයුතු නැත. භික්ෂූන් වහන්සේ බැටකනවා කියා මහජන අනුකම්පාව දිනාගන්න හදන්නේ මෙබඳු මැර ක්‍රියාවලට නීතිය ක්‍රියාත්මකවීම නවත්වා ගන්නටය.

බීමට වතුර ඉල්ලා සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ රතුපස්වල ජනයාට වෙඩි තැබීම ගැන පරීක්ෂණ කෙරෙන්නේ දැන්ය. ඒ ගැන බොහෝ කරුණු අධිකරණය ඉදිරි‍යේ ‍හෙළිදරව් වෙමින් පවතියි. හමුදාව එහි ගියේ කාගේ වුවමනාවටද? වෙඩි තියන්න නියෝග කළේ කවුද? යනාදිය ගැන විවිධ තොරතුරු ඉදිරිපත්වෙමින් පවතියි. සමහර ප්‍රශ්න තවමත් විසඳී නැත. කෙසේ වෙතත් එහිදී යම් අපරාධයක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. අධිකරණ ක්‍රියාවලියක් ඇරඹී තිබෙන්නේ ඒ නිසාය. රණවිරුවන්ට හිරිහැර කරනවා කියා මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ජනයාට යුක්ති‍ය ඉෂ්ට කරන්නට යාම ගැනය. හේතුව ගැන අමුතුවෙන් කිවයුතු නැත.

කප්පම් සහ මිනීමැරීම්

පාසල් සිසුන් ඇතුළු විවිධ පුද්ගලයන් පැහැරගෙන මව්පියන්ගෙන් කප්පම්ගත් අපරාධකාරී කණ්ඩායම්ද ආරක්ෂක හමුදා තුළ සිටි බව හෙළිදරව් වෙමින් පවතියි. ඔවුන්ගේ එම ක්‍රියා සිදුවූයේ යුද්ධයේ කිසිදු අවශ්‍යතාවයක් සඳහා නොවන බවද පැහැදිලි කරුණකි. මේවා ගැන පරීක්ෂණ කිරීම පෙන්වන්නට හ දන්නේ රණවිරු දඩයමක් වශයෙනි. ඇතැම්විට එයට හේතුවන්නට ඇත්තේ ඔවුන් එවකට පාලකයන්ට අවශ්‍ය වෙනත් අපරාධ සඳහාද යොදාගත් නිසා වන්නට ඇත. භීෂණකාරී පාලනය පැවතුණේ මොවුන්ගේ උපකාරයෙනි. දැන් මේ ආදරය, ලැදියාව ඒ වෙනුවෙනි.

ජනතාව නැගී සිට කළ අරගලයක් මඟින් රාජපක්ෂ පාලනය අවසන් කළ නිසා දැන් කාටත් නිදහස ලැබී ඇත. භිෂණකාරී පාලනය අවසන්ය. සුදු වෑන් සංස්කෘතිය අතීතයට එක්කොට අවසන්ය. මහජනයාට උද්ඝෝෂණය කරන්නට ඉඩ ලැබී ඇත. ඇතැම් උද්ඝෝෂකයන් නිරන්තරයෙන් කරන වීදි සටන් දැන් මහජනයාට කරදරයක් බවට පත්ව ඇති තරම්ය. මහජනයා දැන් කියන්නේ ඒවාට යම් පාලනයක් තිබිය යුතු බවයි. ඒ කියන්නේ භීෂණය යළි අවශ්‍ය බව නම් නොවේ, ලබාගත් නිදහස භාවිතයේ විනයක් තිබිය යුතු බවයි.

භීෂණ යුගයේ සිදුවීම් ගැන මහජනයාට තිබෙන ඇත්ත ප්‍රශ්නය නම් ඊනියා රණවිරු දඩයම හෝ භික්ෂූන් වහන්සේලාට කරනවා යැයි කියන හිරිහැර ‍නොවේ. එම පරීක්ෂණ විධිමත්ව කාර්යක්ෂමව ඉදිරියට යන බවක් පෙනෙන්නට නොතිබීමය. ඒවා මන්දගාමීවීම හා දිග්ගැසීමයි.

ඇතැම් පරීක්ෂණ දිග්ගැහෙන්නේ සාක්ෂි විනාශ කර තිබීම නිසා විය හැකිය. ඇතැම් විට තිබෙන සාක්ෂි ලබා නොදීමද පරීක්ෂණවලට බාධා වී ඇති බව කියති. එසේවුවද මහජනයාට අවශ්‍ය වන්නේ මෙම පරීක්ෂණ කඩිනමින් අවසන් කොට අපරාධකාරයන්ට දඩුවම් ලැබෙනු දැකීමටය. මහජනයාට යුක්තිය ඉටු වන්නේ එවිට ය. සැබෑ රණවිරුවන්ගේත් සිල්වත් ‍බෞද්ධ භික්ෂූන්ගේත් ගෞරවය රැකෙන්නේ එවිටය. ලෝකයම අප රටට වඩ වඩාත් ගෞරව කරනු ඇත්තේ එබඳු ක්‍රියාවලියක් සාර්ථක කරගත් විට ය .

සී. ජේ. අමරතුංග (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැබෑ වීරයෝ?"

    Post a Comment