25 June, 2017

අම්මා අජ්ජා කියලා කෑ ගහපු ගමන් වැඩේ close

- ක‍ේ. සුජීවා,අංජලී,‍ රෝස්, අජ්ජා කියන රසකතා

K Sujeewa - Ajith Muthukumarana

අංජලී ඉන්දියාවේ වසර ගණනාවක්ම හිටියනේ.. මොනවද එහෙදි කළේ?
ඉන්දියාවේ මම චෙන්නායිවල අධ්‍යාපනය හැදෑරුවා. මම ලංකාවට ආවේ අවුරුදු පහකට පස්සෙයි.

ලංකාවට ඇවිත් රෝස් එක්ක ගෙවන ජීවිතේ කොහොමද..?
නංගි තමයි මගේ ලෝකෙ. මම එයාට කියන්නේ මල්ලි කියලා. මට එයා තමයි ඔක්කොම. මට සතුට දුක ඕන එකක් මෙයා එක්ක කියන්න පුළුවන්. අපි දෙන්නා ඇති තරම් සෙල්ලම් කරනවා.

සෙල්ලම් කරද්දි රණ්ඩුත් වෙනවා ඇති නේද.?
ඔව්.. ඔව්... රණ්ඩුත් වෙනවා. මට හැංගිමුත්තන් කරන්න ඕනෙනම් මෙයාට ඕන බට්ට පනින්න. ඉතින් මට බෑ කියලා මම උඩට ගියොත් මෙයා තරහ වෙනවා. ආයෙ පැය දෙක තුනක් කතා කරන්නේ නෑ.

රෝස්ට එහෙම තරහවෙලා අක්කා එක්ක ඉන්න පුළුවන්ද?
(රෝස්ගෙන් අහපු ඒ ප්‍රශ්නයට රෝස් අපූරු උත්තරයක් දුන්නා.)
විනාඩියක්වත් මෙයා එක්ක තරහවෙලා ඉන්න බෑ. මමත් ඉතින් පැත්තකට වෙලා ඉන්නවා. ඒත්... බොරැවට. බොරු හේතුවක් හොයාගෙන ගිහින් මම කොහොමහරි යාළු වෙනවා.
බලන්නකෝ මේ මූණ බලාගෙන තරහවෙලා ඉන්න පුළුවන්ද කියලා..

අංජලී එහෙම ඇහුවේ රෝස්ගේ මූණ අපේ පැත්තට අතින් හරවගෙනමයි. හැබැයි මගේ මොකක්හරි බඩුවක් එහෙම කැඩුවනම් මම පොඩ්ඩක් මෙයත් එක්ක තරහවෙලා ඉන්නවා.

(අංජලී බට්ට පැන්නට, හැංගිමුත්තන් කළාට දැන් අංජලීගේ වයස අවුරුදු විසි දෙකයි. රෝස්ගේ වයස අවුරුදු දොළහයි. හිතාගන්න පුළුවන්නේ මේ අක්ක නගෝගේ යාළුකම.)

අංජලී රෝස් කැමති මොනවද..?
රෝස් fast food කන්න පීසා කන්න එහෙම හරි කැමතියි.

රෝස්... එතකොට අක්කා වැඩියෙන්ම කන්න කැමති මොනවද..?
මෙයා කන්න කැමති නෑ කියලා දෙයක් නෑ. ඔය ඔක්කොම මෙයා කන්න කැමතියි. ඔක්කොම ආසාවෙන් කනවා.

රෝස් අක්කි ඔයාට ගහනවද..?

නෑ.. වැඩිය නෑ. ගහනවා... හැබැයි ඒවා නඩුවක් නෙමේ. පොඩ්ඩක් මට එයා තට්ටුවක් දැම්මොත් මාත් එයාට පොඩි තට්ටුවක් දානවා. එච්චරයි. ඊට එහාට නෑ.

රෝස්ගේ ඉස්කෝලෙ වැඩවලට අංජලීගෙන් සපෝට් එකක් තියෙනවද?

ඔව්.. ඔව්.. ඒ නිසා තමයි නංගියි මායි වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ. මම එයාගේ Home work බලද්දි, සමහර දේවල් එයාට කියලා දෙද්දි එයාට වැරදුණොත් මම බණිනවා. මම තමයි මෙයා ගොඩාක් වෙලාවට ඉස්කෝලෙට ඇරලවන්නේ. ඒ යද්දි හයියෙන් සින්දු දාලා.. හිනාවෙවී හරි fun එකේ තමයි යන්නේ. ඉස්කෝලෙට බස්සලා මට තමයි කාර් එක අරගෙන එද්දි පාළු. හරි කම්මැලියි. ආයෙ එක්කගෙන එන්න මම ඉස්කෝලෙට හයියෙන් යනවා. ගිහින් එක්කගෙන එද්දි මාර ජොලි. පාළුයි කියලා හිතුණොත් මම එකට කලින් ගිහින් මෙයාව එක්කගෙනත් එනවා.

රෝස්, මතකද.. මුලින්ම ඔයා ප්‍රසංග වේදිකාවේ මුලින්ම සින්දු කියපු දවස?
මම මුලින්ම Non stop එකක් කිව්වේ. ඇත්තම කියනවානම් මම එක දවසයි ඒක පැක්ට්‍රිස් වුණේ. අජ්ජා එදා උදේ දවසෙම මට ඒක පැක්ට්‍රිස් කෙරෙව්වා. හැබැයි මට ඒ පැක්ට්‍රිස් එක මදියි කියද්දිත් එදා මම හොඳටම කළා. එදා අජ්ජාටයි අම්මටයි මාර හැපි.

අජ්ජා (අජිත් මුතුකුමාරණ) ගැන මොකද හිතන්නේ?

අජ්ජා හරිම හොඳ කෙනෙක්.

රෝස් එහෙම කියද්දි අංජලිත් අජ්ජා ගැන කියන්න කතාවට එකතු වුණා.

අජ්ජා හොඳ තාත්තා කෙනෙක්. මම දන්නේ නෑ අනිත් මිනිස්සු එයා ගැන හිතන්නේ මොනවද කියලා. හැබැයි එයා සුපිරි තාත්තා කෙනෙක්

එයා සැරයිද..?
එහෙම කියපු ගමන් රෝස් උත්තර දෙන්න පටන් ගත්තා.

අම්මෝ ඔව්.. එයා සැරයි. අම්මා මොකක්හරි අපිට කරන්න කිව්වොත් අපි එකපාරම කරන්නේ නැතිවුණොත් අම්මා එකපාරටම අයියා.. කියලා අජ්ජාට කතා කළොත් අපි දෙන්නා ටක් ටක් ගාලා ඒ කියපු වැඩෙත් කරලා ඉවරයි.
සංගීතය පුහුණු වෙද්දී අජ්ජා කොහොමද..?
එහෙම අහපු ගමන් රෝස්ටනම් මහ හයියෙන් හිනා ගියා. ඒ හිනාවේ මොකක්දෝ දෙයක් තියෙන නිසා ඒ හිනාව නතර කරනකන් අපි බලාගෙන හිටියා.

රෝස් මොකක්ද ඔය හිනාවේ රහස?

මෙයා බොරුවට ෆෝන් එකෙන් කෝල් කරලා කියනවා අජ්ජා මම මේ පැක්ට්‍රිස් වෙනවා කියලා. එහෙම කියලා හැමතිස්සෙම ඩ්‍රම් සෙට් එක ඔන් කරලා තියෙනවා. ඒ තියලා අජ්ජා ආ.. එහෙනම් ගහලා පෙන්නන්න කියපු ගමන් ටාන් ගාලා ගහලා පෙන්නනවා.

එහෙම කියලා රෝස් ආයෙත් හිනාවුණා.
මේ නංගි... ඔහොම කියන්න එපා. මම හැමදාම ඔහොම කළේ නෑනේ. ඕනනම් දවසක් දෙකක් කරන්න ඇති.
මෙයා දහයට පැක්ට්‍රිස් කරන්න කිව්වොත් පැක්ට්‍රිස් කරන්න පටන් ගන්නේ දොළහටයි. එහෙම කිව්වේ රෝස්.

අංජලී අම්මි ගැන මොකද හිතෙන්නේ..?
මගේ අම්මා තමයි ලෝකෙ ඉන්න හොඳම අම්මා. කාවහරි මරලා ඇවිල්ලා වුණත් මට ඒ දේ අම්මිට කියන්න පුළුවන්.

ගෙදරදි හතරදෙනාම නිදහසේ ඉඳිද්දි මොනවද කරන්නේ..?
ඒ වගේ වෙලාවට වැඩිපුරම අපි ෆිල්ම් බලනවා. හැබැයි පටන් ගන්නේ හතරදෙනාම තමයි. හැබැයි ටික වෙලාවකින් අම්මි නිදි. ඇහැරවලා ඇහැරවලා කරදර කරලා නැගිට්ටුවත් ආයෙ ටික වෙලාවකින් එයා නිදි.

අම්මිට රහට කෑම හදන්න පුළුවන්ද..?
අම්මෝ ඔව්.. මේ ලෝකෙ තියෙන රහම කෑම තමයි මගේ අම්මිගේ කෑම. (එහෙම කිව්වෙනම් රෝස්) අංජලිත් මේ විදිහට ඒ කතාබහට හවුල් වුණා.
මම සමහරදාට අම්මිට කියනවා අම්මි ඔයා ෆයිව් ස්ටාර් හොටෙල් එකක් අරින්න කියලා. ඒ තරමටම රහයි. එක එක දවසට එක එක කෑම හදනවා. සිංහල ගමේ කෑම හදන්නත් අම්මි හරි දක්ෂයි. අම්මි හදන අල තෙල් දාලා.. අපි දෙන්නා මාරම ආසයි. ඒක මාරම මාර රහයි.

දැන් අංජලිත් ප්‍රසංග වේදිකාවට ඇවිත්නේ... මොකද හිතෙන්නේ?
ගොඩාක් සතුටුයි. ඒකට අම්මියි අජ්ජයි සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමයි ලොකු සපෝට් එකක් දුන්නා.

ආයෙ අංජලී ඉන්දියාවට යනවද..?
ඉන්දියාවේ ෆිල්ම් එකකට මට කතා කරලා තියෙනවා. ඒක නිසා මම ඒකෙ වැඩ පටන් ගන්න කලින් මම එහෙට යන්න ඕනෙ.

ආයෙ රෝස්ව දාලා යන්න දුක නැද්ද අංජලී?
නෑ.. නෑ.. අම්මි අවසර දීලයි තියෙන්නේ. මට පාස්පෝට් එකකුත් තියෙනවනෙ. ඒක නිසා අක්කි යද්දි මේ පාර එයත් එක්ක මාත් එහෙ යනවා. අපි දෙන්නා සාමාන්‍ය අක්කයි නංගියි වගේ නෙමේ. අපි දෙන්නා යාළුවෝ වගේ. එයා ඉන්නේ එයාට අවුරුදු දහය වගේ තමයි. මම පුංචි කාලෙ මුලින්ම කියලා තියෙන්නේ අක්කා කියලයි.

එතකොට අර පොඩි කාලෙ රෝස්ගේ කනට හෑන්ඩ් ෆ්‍රී ගැහුවේ ඇයි අංජලී?
ආ.. ඒ එයාට සින්දු අහන්නයි. මෙයා පුංචි කාලෙ හරිම චූටියි. ඉතින් මම මෙයා දිහා බලාගෙන ඉන්නවලු. චූටිම නිසා මම මෙයාට බයයි. ඒ නිසා මම මෙයාට ඉයර් ෆෝන් දෙක ගහලා සින්දු අහන්න දෙනවා. එක දවසක් මෙයා ගොඩාක් චූටියි. මම ඉස්කෝලෙ හෝම් වර්ක් කරනවා. මෙයා එතකොට ඇඳේ කොණේම නිදාගෙන හිටියා. මෙයා දඩාස් ගාලා ඇඳෙන් වැටුණා. හැබැයි හොඳ වෙලාවට මෙයාට මුකුත් වුණේ නෑ.
මාව ඉපදුණු ගමන් හොස්පිට්ල් එකේදි මුලින්ම වඩාගෙන තියෙන්නෙත් මෙයා. මුලින්ම මාව ඇඳෙන් වැට්ටුවෙත් මෙයාමයි...
ඊළඟට කතාබහට එකතු වුණේ සුජීවායි.

අවුරුදු විසි දෙකක තරුණ දුවෙක් අද සුජීවාට ඉන්නවා. මොකද හිතෙන්නේ?
මට හරි ආඩම්බරයි. අජ්ජා නැති වෙලාවෙදි මේ ගෙදර හැම වැඩක්ම කරන්නේ එයා. බඩු ගේනවා. චූටෝව ඉස්කෝලෙ ගෙනියනවා. මාව එහෙ මෙහෙ ගෙනියනවා. ඒ හැමදෙයක්ම අංජලී කරන්නේ තනියම. මගේ ජීවිතේ මටත් යාළුවෝ කවුරුත් නෑ. ඉන්න එකම යාළුවා අංජලියි.

අජිත් එක්ක සම්බන්ධයක් ඇතිවෙද්දි සුජීවා ඒක අංජලීට කිව්වද..?
ඔව්.. අජිත් අයියා ගෙදරට එන්න කලින් මම කතා කරලා අංජලීට කිව්වා. ඕන දෙයක් අංජලියි මායි කතා කරනවා. ඒ වෙලාවෙත් අංජලී කිව්වෙ අම්මා.. අම්මා කැමති තීරණයක් ගන්න කියලයි.

දරුවන් අජිත්ට අජ්ජා කියන්නේ ඇයි..?
මම අජ්ජා කියන හින්දා එයාලත් අජ්ජම කියනවා.

► Text – Dishani / Pic -Sumudu (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අම්මා අජ්ජා කියලා කෑ ගහපු ගමන් වැඩේ close"

    Post a Comment