02 May, 2017

අවුරුදු දාහතරක් ගිහිල්ලත් රසික ආදරයේ වෙනසක් නෑ

Sasanthi Jayasekara-00

පුංචි තිරයේ වගේම සිනමා තිරයේ හැඩකාර රංගන ශිල්පිනියක වූ සසන්ති පසුගිය කාලය පුරාවටම දකින්න ලැබුණෙ නැහැ. වසර දහයකටත් වඩා කාලයක් තිස්සේ ඇය වෙසෙන්නේ එංගලන්තයේ වීම ඊට හේතුවයි. එංගලන්තයේ සිට දිවි ගෙවන සසන්ති සඳැල්ල සමග කතා බහකට එක්වූ අයුරුයි මේ.

සසන්ති එංගලන්තයේ පදිංචියට ගිහින් කොපමණ කල් වෙනවද?

අවුරුදු 14ක් විතර වෙනවා.

ඒ ගෙවී ගිය කාලයේදී ලංකාවට ආවෙම නැද්ද?

දෙපාරක් විතර ආවා.

ඇවිත් රඟපෑමටත් එක්වුණාද?

නාට්‍ය දෙකක රඟපෑවා.

අන්තිමට ඔබ රගපෑ නිර්මාණ අතරින් වඩා ජනප‍්‍රිය වුණේ?

ජූලියා

එංගලන්තයේ 14 වසරක්? කොහොමද ඒ ගෙවී ගිය කාලය දැනෙන්නෙ?

එදා ඉඳලාම මගේ හීනයක් තිබුණා එංගලන්තයේ සංචාරය කරන්න. එහි පදිංචියට යන්න. ඉතින් පසු කාලයකදී ඒ හීනය සැබෑවුණා. නමුත් ආසාවෙන් ගියාට, මුල් කාලයේදී මට හරියට අසීරු වුණා ඒ පරිසරයට හුරු පුරුදු වෙන්න. ඒ නිසා කීපවතාවකදීම නැවත ලංකාවට එන්නත් හිතුවා. නමුත් රැුකියාවක් කරමින් ඉගෙන ගනිමින්, පුතාගේ අධ්‍යාපනය ගැන බලමින් දිගටම කටයුතු කරගෙන ගියා. මගේ අම්මාගෙන් තාත්තාගෙන් මට කවදත් උදවු තිබුණා. ඒ වගේම එංගලන්තයේදී නිමල්කා, සුජාතා ඇතුළු හොඳම යාළුවෝ පිරිසක් හඳුනා ගන්න ලැබුණා. පුතා හොඳට ඉගෙන ගන්න පටන්ගත්තා. එයා පාපන්දු ක‍්‍රීඩාවටත් අති දක්ෂයෙක් වුණා. ඒ හන්දා අවුරුදු දෙක බැගින් කාලය දිගු කරගෙන දිගටම එංගලන්තයේ හිටියා. අන්තිමට මම මට නොවී, පුතා ගැනම හිතන්න පටන්ගත්තා. ඒ නිසා එංගලන්තය මගේ ඉදිරි ජීවිතයේ නවාතැන බවට පත්වුණා.

පේ‍්‍රක්ෂකයින්ට ඔබ ගැන මතකය කොහොම කියලද දැනෙන්නෙ?

ඒක නම් හරි පුදුම දෙයක්. කියන්න හරිම සතුටුයි. අවුරුදු 14ක් ගිහිල්ලත් මිනිස්සු මට තවමත් පුදුම ආදරෙයි.

ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?

දැන් මම මේ රටේ දිගටම ජීවත්වේවි.

රඟපෑමෙන් ඈත්ව සිටින විට ජීවිතය දැනෙන්නෙ කොහොමද?

දීර්ඝ කාලයක් රඟපෑමේ නිරත වෙලා එයින් ඉවත් වෙලා සිටීම ඉතා අසීරු දෙයක්. රඟපෑම නැතුව එය හිතේ තද කරන් සිටීම තවත් අසීරු දෙයක්. කාලයක් කැමරාව ඉදිරියට නොගිහින් නැවත වතාවක් මේ මෑතකදී කැමරාව ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. මම හිතුවෙ මට එය ආධුනික අවස්ථාවක් වේවි කියලයි. නමුත් ”සිහිනයකි රෑ” වැඩසටහන වෙනුවෙන් මම සහ එංගලන්තයේ වෙසෙන කාංචනා මෙන්ඩිසුත් එක්වුණා. ජාතික රූපවාහිනිය ඒ වැඩසටහන හරි අපූරුවට ඉදිරිපත් කළා. ඊට අමතරව පසුගිය කාලයේදී සේනක විජේසිංහ අයියා නිර්මාණය කළ නාට්‍යයක් සහ තවත් නාට්‍ය කීපයකටම රඟපෑමට මට ආරාධනා ලැබුණා. ඒ අතරේ තවත් ලොකු සිහිනයක් මට තියෙනවා.

ඒ මොකක්ද?

ප‍්‍රසන්න ජයකොඩිගෙ නිර්මාණයක රඟපෑමට.

දැන් සසන්තිගෙ අලූත් ජීවිතයෙ විස්තර කිව්වොත්?

ලන්ඩන්වල රැුකියාව කරද්දී තමයි මට එයා මුලින්ම හමුවුණේ. ඒ අවුරුදු පහකට විතර පෙරදීයි. පළමු දිනයේම අපි දෙන්නා හොඳ යාළුවො වුණා. පසුව අපි හමුවී කතා කළාම මට එයාව දැනුණේ මගේ ජීවිත කාලය පුරාවටම එයා තමයි සුදුසු කෙනා කියලයි. මම කවදාවත් එච්චර ඉක්මනට කෙනෙකුට කැමති වෙලා නැහැ. නමුත් ස්ටීව් පුදුම හොඳ කෙනෙක් බව මට වැටහුණා. දැන් අපි හොඳ ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. එයාගෙ පුතායි, මගේ පුතායි අපි ඔක්කෝම හරිම සතුටින් ජීවත් වෙනවා.

ඔබගෙ පුතා රඟපෑමට දක්ෂ ද?

පාසලේදී වේදිකාවේ නිර්මාණ බොහොමයකට එයා දායක වුණා. හොඳම රංගන ශිල්පියා ලෙසත් සම්මාන ලබා තිබෙනවා. නමුත් එයා බොහෝ දක්ෂ ක‍්‍රීඩා අංශයටයි. පාපන්දු ඇතුළු ක‍්‍රීඩා අංශ පහකට විතර එයා දායක වෙනවා. පුතා මට හරිම සමීපයි. එයා මාව නැතුව මොහොතක්වත් තනියම ඉන්න කැමති නැහැ. මගේ මහත්තයත් ඒ වගේමයි. පවුලට බොහෝම ලැදි හොඳ ගුණවත් චරිතයක්. අපි ශ්‍රී ලංකාවේ විදියට අවුරුදු පවා සැමරුවා. ලෝකයේ කොතැනක සිටියත්, ඒවා නම් අමතක කරන්නෙ නැහැ.

දැන් ඔබ මොනවද කරන්නෙ?

Sasi සසී නමින් රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. ශ්‍රී ලාංකීය වෙඩින් තමයි වැඩිපුර කරන්නෙ. ඉතින් එයින් ලබන සතුටත් හරි ඉහළයි.

අතීතය ගැන අද හැෙඟන්නෙ මොන විදියටද?

වර්තමානයේ මේ කරන කියන පරිසරය තනා දෙන්න අතීතයේ සිදුවීම් සහ මුහුණදුන් දේ ඉවහල් වුණා.

එදා මට විවාහය නිසා අසීරුතාවලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් ජීවිතය වැටෙන තරමට කරදර ආවේ නැහැ. අද සියයට සීයක්ම මම සතුටින් ජීවිතය ගෙවන බව කියන්න පුළුවනි. මම කාටවත් වරදක් නොකළ කෙනෙක්. මම කවදාවත් තණ්හාවක් තිබුණු කෙනක් නෙවෙයි. නැවත අතීතයට ගිහින් හදාගන්න දෙයක් මට නැහැ. මේ වර්තමානය හරිම අරුත්බරයි. ඒ වගේම හරිම සුන්දරයි. පියකු ලෙස ස්ටීව් පුතාලා ගැන ඉතා හොඳින් සොයා බලා කටයුතු කරන අතර, බිරිඳ ලෙස මට දෙන ගෞරවය ආදරය ඉහළයි. ඉතින් තව වෙන මොනවද අවශ්‍ය කරන්නෙ? සසන්ති ඉතා සතුටින් ජීවත් වෙනවා.

සඳුන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු දාහතරක් ගිහිල්ලත් රසික ආදරයේ වෙනසක් නෑ"

    Post a Comment