27 March, 2017

හිඟුරානට අරක්කු ලයිසම දෙන්නැයි විගණකාධිපති කියලා

Hingurana Sugar liquor license

හිඟුරාන සීනි කර්මාන්තායතනය අපේක්ෂා කළ පරිදි එතනෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුරාබදු සහතිකය නිකුත් කර නොමැති බැවින් එම සමාගමේ අලාභය දිනපතා වර්ධනය වෙමින් ඇති බවත් ඊට පිළියමක් ලෙස නොපමාව සුරාබදු සහතිකය ලබාගෙන එතනෝල් නිෂ්පාදනය ආරම්භ කළ යුතු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව එම සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ හිඟුරාන සීනි කර්මාන්තායතනයේ කළමනාකාරීත්වය දරන ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගමේ 2016 කාර්ය සාධන විගණනය සිදු කිරීමෙන් අනතුරුවය.

එම නිර්දේශ ඇතුළත් 2016 කාර්ය සාධන විගණන පරීක්ෂණය 2017 පෙබරවාරි 13 වනදා සිදුකර ඇති අතර එම විගණනය විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2017 පෙබරවාරි 13 වනදා සිදුකර ඇත.

මිලියන 798 ක නව ස්කාගාරයක්:

ඊට අනුව 2017 ජනවාරි 31 වන විට එම සමාගම රුපියල් මිලියන 798 ක වියදමක් දරා නව ස්කාගාරයක් ඉදිකර ඇති අතර මධ්‍යසාර නිෂ්පාදනය කිරීමේ ශක්‍යතා පරීක්ෂණ කටයුතු ද මේ වන විට අවසන් කර ඇත.

එසේම මධ්‍යසාර නිෂ්පාදනය සිදු කිරීම සඳහා සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස ලැබෙන මොලෑශස් මෙට්‍රික් ටොන් 12,490ක් සමාගමේ ගබඩා කර ඇති බව ද එම වාර්තාවේ සඳහන්ව තිබේ.

දිනකට එතනෝල් ලීටර 21,500ක් ලීටරය රුපියල් 350.00 බැගින් අලෙවි කිරීම හරහා රුපියල් මිලියන 7.5ක ආදායමක් සමාගම අපේක්ෂාවෙන් සිටි බවත් සුරාබදු සහතිකය නොමැතිව ස්කාගාරය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බැවින් එම අපේක්ෂිත ආදායම මේ වන විට දෛනික අලාභයක් ලෙස සටහන් වෙමින් ඇති බව සමාගමේ කළමනාකරණය විගණක නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් එහි සඳහන්ය.

රජයට පවරාගෙන:

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට පෞද්ගලික ආයෝජකයකු වෙත බදු දී තිබූ හිඟුරාන සීනි කර්මාන්තායතනය එම බදුකරු විසින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 1997 වසරේ දී රජයට පවරාගෙන ඇත.

පසුව 2007 වර්ෂයේ දී ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගම පිහිටුවා හිඟුරාන සීනි කර්මාන්තායතනයට අයත් නිශ්චල සහ චංචල දේපළවලින් නිෂ්පාදනාගාරය, කාර්යාලය හා නිල නිවාස 94 ක් මෙන්ම අනෙකුත් ගොඩනැඟිලි පිහිටි ඉඩම් හෙක්ටයාර 277.75 ක ප්‍රමාණය අවුරුදු 30 ක බදු ගිවිසුමකට යටත්ව එහි කළමනාකරණ කටයුතු පවරා ඇත.

ඒ වන විටත් හිඟුරාන සීනි කර්මාන්තායතනයට එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා සුරාබදු බලපත්‍රයක් තිබී ඇති නමුත් කළමනාකාරීත්වයේ සිදු වූ වෙනස් වීම හේතුවෙන් එම බලපත්‍රය ගල්ඔය සමාගමට පැවරිය යුතුව තිබිණ.

දේශපාලන බලපෑමක් :

ඒ බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත දැනුම් දී ඇති නමුත් මෙතෙක් ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැත.

මේ වන විට අපට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ ආකාරයෙන් හිඟුරාන සමාගමට සුරාබදු බලපත්‍රය පමා කරමින් තිබෙන්නේ එම සමාගම පාඩු ලබන බව පෙන්වා එහි කළමනාකරණය ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකුගේ හිතවත් ව්‍යාපාරිකයකු වෙත පැවරීමේ අපේක්ෂාවෙන් යුතුවය.

(සංජය ලියනගේ_ශ්‍රීලංකන්මිරර්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිඟුරානට අරක්කු ලයිසම දෙන්නැයි විගණකාධිපති කියලා"

    Post a Comment