14 March, 2017

හෙට තරඟයෙන් සිංහයෝ පරදන්න බංගලියන්ගෙන් නැවුම් වූ වෙනසක් – හතුරුසිංහ කියයි

Chandika Hathurusingha-Coach Bangladesh

බංග්ලාදේශය සහභාගි වන සියවැනි ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය හෙට (15 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය සඳහා ගාල්ලේදී සිදුවූ තාක්‍ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් තරගයට පිවිසෙන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

”ඇත්තටම මම විශ්වාසයෙන් හිටියා ගාල්ලේ තරගය පරාජයෙන් බේරගන්න අපේ පිතිකරුවන්ට හැකි වෙයි කියලා. නමුත් තාක්‍ෂණික අඩුපාඩුකම් නිසා ඒක එහෙම වුණේ නැහැ. ඒ තරගයේදී පළමු ඉනිමේදී ෂකීබ් දැවී ගිය ආකාරයත් දෙවැනි ඉනිමේදී මුස්‌ෆාකාර් දැවී ගිය ආකාරයත් ඉතා කනගාටුදායකයි. කොහොම වුණත් අපි සඳුදා ඉඳන් වැඩ පටන් ගත්තා කොළඹදී හොඳ තරගයක්‌ ලබා දෙන්න” යෑයි හතුරුසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ කඩුලු විස්‌ස දවා ගැනීම සඳහා සැලසුම් කළ යුතු බවත් කණ්‌ඩායමේ දක්‍ෂ නවකයන් සිටියත් තාක්‍ෂණික අඩුපාඩුකම් බොහොමයක්‌ තිබෙන බවත් ඒවා නිවැරදි කරගැනීම හෙට තරගයට පෙර කළ යුතු ප්‍රධාන කාර්යභාරය බවද හතුරුසිංහ වැඩිදුරටත්
පවසයි.

”අපි ක්‍රීඩා කරනකොට දැන ගන්න ඕන ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා සැලැස්‌ම මොනවගේද කියලා. ඒ අනුව අපිත් හැඩ ගැහෙන්න ඕන. පන්දුවට පහර දෙනකොට එහිදී ආරක්‌ෂාවෙලා ලකුණු ගන්න දැන ගත යුතුයි. නමුත් තාක්‍ෂණික අඩුපාඩුකම් නිසා බොහෝ කඩුලු දැවී ගියා. ඇරත් අපි කඩුලු විස්‌සක්‌ දවා ගන්න සැලසුම් සකස්‌ කළ යුතුයි. කොහොම වුණත් අපිට කඩුලු විස්‌සක්‌ දවා ගන්න පුළුවන් හොඳ තරුණ පන්දු යවන්නන් ඉන්නවා. කොළඹදී ගාල්ලට වැඩිය දෙයක්‌ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

බංග්ලාදේශය සියවැනි ටෙස්‌ට්‌ සමරුව ශ්‍රී ලංකාව සමඟ සමරද්දී ඔවුන් ඉතිහාසයේ තනි රටක්‌ සමඟ ක්‍රීඩා කර ඇති වැඩිම ටෙස්‌ට්‌ තරග සංඛ්‍යාවද ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කර තිබේ. එහිදී හෙට තරගයට පෙර ක්‍රීඩා කළ ටෙස්‌ට්‌ තරග 17 කදී 15 වරක්‌ ශ්‍රී ලංකාවට පරාජය වූ බංග්ලාදේශය තරග දෙකක්‌ පමණක්‌ විසඳුමකින් තොරව අවසන් කර තිබේ.

බංග්ලාදේශය ඉතිහාසයේ ක්‍රීඩා කළ ඇති ටෙස්‌ට්‌ තරග 99 කදී ජය ගෙන ඇත්තේ තරග අටක්‌ පමණි. ඒ සිම්බාබ්වේට එරෙහිව පස්‌වරක්‌, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දෙවරක්‌ සහ එංගලන්තයට එරෙහිව එක්‌ වරක්‌ පමණි. බංග්ලාදේශ ටෙස්‌ට්‌ තරග 76 ක්‌ පරාජය වී ඇති අතර තරග 15 ක්‌ විසඳුමකින් තොරව නිමාකරගෙන තිබේ.

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "හෙට තරඟයෙන් සිංහයෝ පරදන්න බංගලියන්ගෙන් නැවුම් වූ වෙනසක් – හතුරුසිංහ කියයි"

    Post a Comment