28 February, 2017

වැඩ පෙන්නන උමාරියා හිත රිද්දුවේ කාගෙද?

umariya-sinhawansa-27-02-17


මේ දවස්වල උමාරියා කාර්යබහුලයි වගේ?

ඔව්. මෙගා ස්ටාර් එකේ රිහර්සල්වලට සහභාගි වෙනවා. විදෙස් සංචාරවලටත් සහභාගි වෙනවා. ඒ වගේම මේ දවස්වල මගේ අලුත් Album එකේ වැඩ කටයුතුත් කරන නිසා ටිකක් කාර්යබහුලයි.

උමාරියා මෙගා ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වෙලා නේද?

මෙහෙමයි. මම වැඩක් කරද්දී උපරිමයෙන්ම ඒකට අවධානය දීලා තමයි වැඩ කරන්නේ. උපරිම උත්සාහයෙන් ඒ දේවල් කරනවා කියලා විනිශ්චය මණ්ඩලයටත් තේරෙනවා ඇති. මම වෙනස් දෙයක් කරන්නත් උත්සාහ කරනවා. ප්‍රතිචාර ලැබෙන්න හේතුවත් ඒක වෙන්න ඇති.

කණ්ඩායමෙන් වැඩිපුරම හොඳ කමෙන්ට්ස් ලැබෙන්නේ උමාරියාටද?

අනේ මම එහෙම බලන්නේ නම් නැහැ. මම මගේ ටීම් එක වෙනුවෙන් කරන දේ උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. ඒක සාර්ථක නම් හොඳ කමෙන්ට්ස් ලැබෙයි.

තරගයකදී උමාරියා ගායනා කළ ගීතයක් නිසා ප්‍රවිණ ගායිකාවකගේ හිත රිදිලා නේද?

මෙහෙමයි. අපිට නිදහස් දිනය තේමා කරගෙන තරග වටයක් තිබුණා. ඒක හරිම ලිමිට් ටොපික් එකක්. ඒකෙනුත් අනෙක් කණ්ඩායම ගීත පහළොවක් තෝරගෙන තිබුණා. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මාලනී බුලත්සිංහල මහත්මියගෙයි සුජාතා අත්තනායක මහත්මියගෙයි ගීත දෙකක් තෝරාගත්තේ. ඒ වෙලාවේ ගීතයේ ගායිකාවන්ගේ නම් කියන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. විනිශ්චය මණ්ඩලය කතා කරද්දි තමයි නම් සඳහන් කළේ. එතැනදි සුජාතා අත්තනායක මහත්මියගේ නම සඳහන් වුණේ නැහැ. ඒ නිසා ඇයට සිත් රිදීමක් වුණා නම් මම ඇත්තටම කනගාටු වෙනවා.

ඒ ගීිතය නියම විදියට උමාරියා ගායනා කළේ නැහැ කියලත්, ඒ නිර්මාණයට අසාධාරණයක් වුණා කියලත් ඇය ඔබට චෝදනා කරනවා නේද?

මම ඒ ගීතය ටිකක් වෙනස් ශෛලියකින් තමයි ගායනා කළේ. ඇයට ඒ ගැන සිත් රිදීමක් වුණා නම් මම කනගාටු වෙනවා. මම හැම වෙලාවෙම ගායිකාවක් විදියට වෙනසක් කරන්නයි උත්සාහ කරන්නේ. මම මයිකල් ජැක්සන්ගේ ගීතයක් වුණත් ගයන්න ට්‍රයි කරන්නේ රිහානාගෙ විදියට. නිම්හිම් සෙව්වා ගීතයත් මම ගායනා කළේ වෙනසක් කරලයි. මම ගීතය ගායනා කළ විදිහෙන් සුජාතා මහත්මියට සිත් රිදීමක් වුණා නම් මම සමාව ඉල්ලනවා.

සුජාතා අත්තනායක මහත්මියගේ නම අමතක කළේ හිතාමතාද?

අනේ නැහැ. මට ඇයගේ නම මතක් කරන්න ලොකු අතපසුවීමක් වුණේ. ඒක මගේ මිස්ටේක් එකක්.

උමාරියා මේ සම්බන්ධව සුජාතා අත්තනායක මහත්මිය සමඟ කතා කළාද?

නැහැ. මට කතා කරන්න ලැබුණේ නැහැ. නමුත් මම ඇයගෙන් සමාව ඉල්ලනවා සිදුවුණු අතපසු වීම වෙනුවෙන්.

උමාරියා ප්‍රවීණයන්ට ගෞරව කරනවා වගේ?

ඔව්. මම ප්‍රවීණයන්ට ගෞරව කරනවා. අපි ඔවුන්ට ගෞරව කරන්න ඕනනේ.

මේ අතරෙදි මෙගා ස්ටාර් වේදිකාවේ උමාරියාගේ ගායනයට අමතරව රංගනයත් කතාබහට ලක්වෙනවා?

මගේ හැකියාව තියෙන්නේ ගායනයට. මං රංගන ශිල්පිනියක් නම් නෙවෙයි. ඒත් මට කණ්ඩායමේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අය මගේ සැඟවුණු දක්ෂතා ඉදිරියට ගන්නත් උත්සාහ කරනවා. මම නටන්න ආසයි. මම මුලින්ම මැණ්්ඩියට නටන්න පුරුදු වුණෙත් නර්තන පුහුණුකරුවන්ගේ සහයෝගය නිසා. ඒ අයගේ උනන්දුව නිසා මගේ රංගන හැකියාවත් දකින්න පුළුවන් වුණා.

උමාරියා විවාහ වුණෙත් ගායන ක්ෂේත්‍රයේ කෙනෙක් එක්කනේ. ඉතින් දෙන්නගේ යුග ගීතයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

එයාගේ ජොබ් එක IT. ඒක නිසා ටිකක් කාර්යබහුලයි. සංගීතය කරන්නේ පාට් ටයිම්. මේ නිසා ළඟදි නම් අපි දෙන්නට ගීතයක් කරන්න බැරිවුණා. ඒත් බැන්ද අලුත නම් අපි ගීතයක් කළා. ඉදිරියේදී ගීතයක් කරන්න අපිට බලාපොරොත්තුවක් තියෙනවා.

ළඟදි උමාරියාගේ මියුසික් වීඩියෝ එකක් දකින්න ලැබුණෙත් නැහැනේ?

මම මගේ අලුත් ඇල්බම් එකේ ගීතයක් මියුසික් වීඩියෝවකුත් එක්කම තව මාසයකින් විතර එළිදක්වන්න සූදානම්.

මියුසික් විඩියෝ වෙනස් විදියට කරන්න උමාරියා උත්සහ කරනවා නේද?

ඔව්. මම තරුණ ගායිකාවක්. ඒ නිසා මම හැම වෙලාවෙම කැමැතියි වෙනස් දෙයක් කරන්න. දැන් තරුණ ගායිකාවොත් මල් සින්දු කියනවා. මට ඕනෙ ඒ පැට්න් එක වෙනස් කරන්න. මම වීඩියෝවලින් වෙනසක් කරන්න කැමැතියි. මම හිතනවා ප්‍රේක්ෂකයෝ ඒ නිර්මාණ හොඳින් වැලඳ ගනියි කියලා.

මේ තරම් කෙටි කාලයක් තුළ සාර්ථක ගමනක් ආව උමාරියාට ගායිකාවක් විදියට තියෙන්නේ මොන වගේ හීනද?

ඇත්තෙන්ම මම උත්සාහ කරන්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ලංකාවේ දක්ෂතා ලෝකෙට පෙන්වන්න. ගායිකාවක් විදියට ජාත්‍යන්තරයට යන එක තමයි මගේ අරමුණ. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැනත් මම ගොඩාක් ආඩම්බර වෙනවා. ඒ නිසා ජිවත්වෙලා ඉන්නකල් ලාංකිකයන් වෙනුවෙන් අර්ථාන්විත ගීත ගයන්න තමයි මං කැමැති.

ශාලිකා රංගනී සමරදිවාකර_මව්බිම
ඡායාරූපය - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැඩ පෙන්නන උමාරියා හිත රිද්දුවේ කාගෙද? "

    Post a Comment