22 January, 2017

දැළිපිහිය වගේ රිළවුන්ට අහුවුණු කාගෙද ඩේ‍රා්න කැමරාව රුවන්වැලිසෑයේ වැදුණු

drones-camera-fights-crest-ruwanweli-2

රට එක්සේසත් කළ දුටුගැමුණු රජු අනුරාධපුර මහමෙව්නා උයනට ආසන්නයෙන් දාගැබක් ඉදිකිරීමට සිතුවේය. දාගැබ ඉදිකිරීමට සුදුසු ස්ථානයක් හමු වුවද එහි වූ විශාල රූස්ස රන් තෙලඹු ගසක දිව්‍යාංගනාවක් අරක් ගෙන සිටින බවට රජතුමා දැන ගත්තේය.

දිව්‍යාංගනාව අරක් ගත් රූස්ස ගසින් පිටව යෑමට ඇය අකැමැති බවත් ඇය විසින්ම රජතුමාට පවසන්නට වූවාය. දුටුගැමුණු රජතුමා අවස්ථා කිහිපයකදීම රූස්ස ගස අසලට පැමිණ දිව්‍යාංගනාවට ගසෙන් වෙනත් ගසකට ගොස්, ගස කැපීමට අවස්ථාව ලබාදෙන ලෙසට ඇවිටිලි කළත් දිව්‍යාංගනාව එම කීමට කන් නොදුන්නාය.

"මගෙ ඉල්ලීමක් තියෙනවා, ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා නම් මම ගසෙන් ඉවත්ව වෙනත් ගසක අරක් ගන්නම්" දිව්‍යාංගනාව රජතුමාට යෝජනාවක් කළාය. දුටුගැමුණු රජතුමා දිව්‍යාංගනාවගෙන් ඉල්ලීම කුමක්දැයි විමැසුවේය. "මෙම ස්ථානයේ අනාගතයේදී ඉදිකෙරෙන දාගැබ මගේ් නමින් හඳුන්වන්න ඕනෑ". දිව්‍යාංගනාවගේ ඉල්ලීම ඉෂ්ට කරමින් දාගැබ ඉදිකිරීමෙන් පසු දුටුගැමුණු රජතුමා එම දාගැබට "ස්වර්ණමාලී" නම් දිව්‍යාංගනාවගේ නම තැබීය.

වංස කතාවලද සඳහන් මෙකී කතාව රුවන්වැලි මහා සෑ රදුන් දුටු පමණින්ම අපගේ මතකයට නැඟේ. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සිවුමහ බුදුන්ගේ පාදස්පර්ශය ලැබූ භූමියක ඉතා රමණීය ලෙස ඉදි කෙරුණු රුවන්වැලි සෑ රදුන් දුටු පමණින්ම හුදී බෞද්ධ ජනතාව පහන් සංවේගය උපදවා ගනිති. ගෞතම බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් බොහෝමයක් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ගර්භයේ නිදන් කර ඇති බවද වංස කතාවල සඳහන්ය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන එකී රුවන්වැලි මහ සෑ රදුන් සම්බන්ධයෙන් සිදු වූ අකරතැබ්බක් ඉකුත් දිනෙක වාර්තා වුණි.

ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය පවා වූ එම අකරතැබ්බයට පාදක වූයේ ඩේ‍රා්න කැමරාවකි. දිනය ඉකුත් 14 වැනි සෙනසුරාදාය. එදින තෛපොංගල් දිනයයි. හින්දු භක්තිකයන් ඔවුනගේ අලුත් අවුරුද්ද මහත් හරසරින් සමරද්දී ලද නිවාඩුවෙන් පින්කමක් සිදු කිරීමේ අදිටනින් කොළඹ සිට වන්දනා නඩයක් අනුරාධපුරයට පිටත් වූහ.

එම නඩයේ අරමුණ වූයේ රුවන්වැලි සෑ රදුන්ට කප්රුක් පූජාවක් සිදු කිරීමය. රජයට අයත් පොහොර සමාගමක ඉහළ පෙළේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් එම පින්කම සංවිධාන කර තිබිණි. එය ඔවුනගේ පෞද්ගලික හිත මිතුරන් එක් කර ගනිමින් සිදු කිරීමට යොදා ගත් පූජාවකි.

දවස පුරා රශ්මිය විහිදවූ ඉරද අවරට යමිනි. කප්රුක් පූජාවට ප්‍රථමව සාදුකාර නඟමින් වන්දනා නඩය උඩමළුවේ සිට රුවන්වැලි සෑ රදුන් දෙසට පෙරහරකින් පැමිණෙන්නට වූහ. පෙරහර ආරම්භයත් සමඟම වන්දනා නඩය සමඟ පැමිණි ඡායාරූප ශිල්පීහු පෙරහරේ ඡායාරූප ගැනීම ආරම්භ කළහ.

රුවන්වැලි මහ සෑ රදුන්ට මීටර් 20ක් පමණ දුරින් කුඩා ආලෝකයක් විහිදුවමින් ඩේ‍රා්න කැමරාවක්ද ගුවන් ගත කෙරිණි.

පෙරහර ගමන් මඟ ඔස්සේ ඩේ‍රා්න කැමරාවක්ද ගමන් කරන්නට විය. මඟ දුරක් ඉදිරියට ඇදුණු ඩේ‍රා්න කැමරාව රුවන්වැලි සෑ රදුන් දෙසට ගමන් කළේය. සෑ රදුන්ගේ කොත් ශීර්ෂයටත් ඉහළින් ගමන් ගත් ඩේ‍රා්න කැමරාව හදිසියේම පාලනයෙන් ගිලිහී නොයෙකුත් අත ගමන් කෙරුවේය.

රුවන්වැලි සෑ රදුන්ටත් ඉහළින් කුඩා ආලෝකයක් විහිදුවමින් බිමට පතිත වන ඩේ‍රා්න කැමරාව සෑ රදුන්ගේ කොත් කැරැල්ලෙහි ගැටුණි. සෑ රදුන් වන්දනාමානයට පැමිණි බැතිමත්හු මෙම සිදුවීම ගැන මහත් බියට සහ කලබලයකට පත් වූහ. හදිසියේම වූ මෙම කලබලය පිළිබඳ විපරම් කළ උඩමළුවේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියකු වහාම රුවන්වැලි සෑය දෙසට පැමිණියේය. කොත් කැරැල්ලේ ප්‍රථමව ගැටුණු ඩේ‍රා්න කැමරාව සෑ රදුන්ගේ දකුණු පස දෙසින් වන්නට හතරැස් කොටුවේ වැදෙමින් පේසා වළල්ලේද ගැටී බිමට පතිත විණි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා බිමට පතිත වූ ඩේ‍රා්න කැමරාව සිය භාරයට ගත්තේය. ඉන් ඉක්බිති එම ස්ථානයට පැමිණි තරුණයකු ඩේ‍රා්න කැමරාව තමාගේ යැයි පොලිස් නිලධාරියාට පැවැසීය.

පහන් සංවේගයෙන් යුතුව මහත් බලාපොරොත්තු සිත් තුළ රඳවා ගෙන රුවන්වැලි සෑ රදුන් වැඳ නමස්කාර කිරීමට පැමිණි බැතිමත්හු මින් මහත් කෝපයට පත් වූහ. ඒ අතර පොලිස් නිලධාරියා ඩේ‍රා්න කැමරාවද, එහි හිමිකරුද රැගෙන පොලිස් මුරකුටිය වෙත ගියේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සිය උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කළේය. උඩමළුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉඳුනිල් හේමපාල මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළහ. 

පරීක්‍ෂණයේ ප්‍රථම කටයුත්ත ලෙසට ඩේ‍රා්න කැමරාව රුවන්වැලි මහ සෑ පුද බිමට රැගෙන විත් දර්ශන ලබා ගැනීමට අදාළ අංශවලින් ලිඛිත අවසරයක් ලබාගෙන ඇතිදැයි සොයා බැලීය. නමුත් එවැනි කිසිදු අවසරයක් ඩේ‍රා්න කැමරා හිමිකරු විසින් ලබාගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය විය. අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් රුවන්වැලි මහා සෑය භාරව කටයුතු කරන පල්ලේගම හේමරතන නාහිමියන් දැනුවත් කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ද දැනුවත් කළ පොලිස් නිලධාරීන් විමර්ශනවලින් අනතුරුව පුරාවිද්‍යා ආඥාපනතට අනුව ඩේ‍රා්න කැමරාව පාලනය කළ තරුණයාව අත්අඩංගුවට ගත්තේය.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ඔහු සිය මිතුරන්ද සමඟ කප්රුක් පූජාවේ දර්ශන සහ ඡායාරූප ලබා ගැනීම සඳහා වන්දනා නඩය සමඟ පැමිණ ඇත.

හිතවතකුගේ ආරාධනාව ඇතිව එම කටයුත්ත ඔවුනට භාරදී තිබිණි. මුදල් බලාපොරොත්තුවකින් තොරව තමන් ඇතුළු පිරිස එම කාර්යය ඉමහත් ආසාවකින් ඉෂ්ට සිද්ධ කිරීමට අනුරාධපුරයට පැමිණි බව අත්අඩංගුවට පත් ඩේ‍රා්න කැමරා හිමිකරු පොලිසියට පැවැසීය.
පොලිසිය නෛතික කටයුතු මෙලෙස ඉටු කරන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහුද ලහි ලහියේ ඩේ‍රා්න කැමරාව ගැටීමෙන් සෑ රදුන්ට සිදුවූ හානිය සොයා බැලීමට විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කළහ.

පහළ සිට බැලූ බැල්මට සෑ රදුන්ට හානියක් සිදු වී නොමැති බව පෙනී ගිය නිසා මේ සම්බන්ධයෙන් සෑ රදුන්ගේ සිරසේ සිට විශේෂඥ පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාද නියෝගයක් නිකුත් කළේය. අත්අඩංගුවට පත් ඩේ‍රා්න කැමරා හිමිකරු ඉදිරි විමර්ශන සඳහා එදින රාත්‍රියේම අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර කළේය. පසු දින එනම් ඉකුත් 15 වැනි ඉරු දින සැකකාර ඩේ‍රා්න කැමරා හිමිකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

අධිකරණය ඩේ‍රා්න කැමරා හිමිකරු ඇප මත මුදා හැරිණි. රුවන්වැලි මහා සෑ රදුන් පිහිටි ප්‍රදේශයේ ඩේ‍රා්න කැමරා භාවිත කරන්නේ නම් ඊට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් සහ රුවන්වැලි මහ සෑ නායක හිමියන්ගේ ලිඛිත අවසරයක් අනිවාර්ය බව උඩමළුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉඳුනිල් හේමපාල මහතා සඳහන් කරයි. අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරා පුද බිමට රැගෙන විත් ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසිය සතු බවද ස්ථානාධිපතිවරයා අවධාරණය කරයි.

එම කතාව හමාර නැත. ඉකුත් 16 වැනි සඳුදා දින අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ පෙළේ නිලධාරීන් සහ ඒ යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාද සහභාගි විය. එම සාකච්ඡාවෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින වෙහෙර විහාර ආදිය රූගත කිරීමට ඩේ‍රා්න කැමරා භාවිත කරන්නේ නම් ඊට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් අවශ්‍ය බවට තීරණයක් ගැනීමට බලධාරීන් කටයුතු කළේය.

වර්තමානය වන විට ඩේ‍රා්න කැමරාව සම්බන්ධයෙන් රට තුළ මහත් කතා බහක් ඇති වී ඇත. එසේම ඩේ‍රා්න කැමරා භාවිතය මෙරට තුළ ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී.

ඩේ‍රා්න කැමරා භාවිතය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය නියම කළ නීති පද්ධතියක් තිබුණද එය බලාත්මක ගැන්වීමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ නිසාම ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව ඩේ‍රා්න කැමරා භාවිතය සම්බන්ධයෙන් වන නව නීති පද්ධතියක් සකස් කරමින් පවතී. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ එම නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරයට සකස් කිරීම රජයේ අරමුණ බවය. ඉකුත්දා හම්බන්තොට නව ආයෝජන කලාපය විවෘත කළ දින පැවැති විරෝධතාවයේදී පෞද්ගලික විද්‍යුත් නාළිකාවක ඩේ‍රා්න කැමරාවක් පොලිස් භාරයට ගෙන එහි දත්ත මකා දැමීම සම්බන්ධයෙන්ද දේශපාලන වේදිකා තුළ මහත් කතා බහක් ඇති විය.

ඒත් සමඟම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාද සඳහන් කළේ ඩේ‍රා්නා කැමරා භාවිතය සම්බන්ධයෙන් නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවය.

ඩේ‍රා්න කැමරාව රුවන්වැලි සෑ රදුන්ගේ කොත් කැරැල්ලෙහි ගැටීමත් සමඟ මෙම කතාබහ උණුසුම් වී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද සඳහන් කළේ මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට එම උපකරණ භාවිත කළ යුතු බවටය.

නියමුවන් රහිතව ගුවන් ගත කළ හැකි ඩේ‍රා්න කැමරා සම්බන්ධයෙන් ලෝකයේ දියුණු රටවල විවිධ නීති රීති සැකසී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩේ‍රා්න කැමරා ගුවන් ගත කිරීමට අවසර ඇත්තේ උස අඩි 400ක පරාසය තුළය.

ඉකුත් 2016 වසරේ එංගලන්තයේ ගුවන් යානාවක් සහ ඩේ‍රා්න කැමරාවක් එකිනෙක ගැටීම හේතුවෙන් එරට භාවිත කරන සියලු ඩේ‍රා්න කැමරා ලියාපදිංචි කිරීමට නීතියක් සකස් කෙරුණි.

අපට ආසන්න ඉන්දියාවේද මහජන දේපොළ පිහිටි ප්‍රදේශවල ඩේ‍රා්න කැමරා භාවිත කරන්නේ නම් ඊට ප්‍රාන්තවල පිහිටි පාලක ආයතන විසින් අවසර ගත යුතුය.

නව තාක්‍ෂණය සමඟ ජීවත් වීමට අප පුරුදු විය යුතුය. නව තාක්‍ෂණික උපාංග මහ භයානක අවි ආයුධ මෙන් නොසලකා ඒවා නිසි පරිදි භාවිත කළ යුතුය. ඊට අමතරව එම උපකරණ භාවිත කරන පුද්ගලයන්ද "වඳුරාට දැළි පිහිය හසු වුණා වාගේ" නොමැතිව අවශ්‍යතාවට සහ ස්ථානයට උචිත ලෙස භාවිත කළ යුතුය. එවිට "ඩේ‍රා්න කැමරාවද" සමාජයට මහත් හිසරදයක් නොවනු ඇත.

චාමර අමරසූරිය_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දැළිපිහිය වගේ රිළවුන්ට අහුවුණු කාගෙද ඩේ‍රා්න කැමරාව රුවන්වැලිසෑයේ වැදුණු "

    Post a Comment