25 January, 2017

සාදය මාරයි සල්ලි හමාරයි ලලනි මාරු වෙයි

chamila-pieris-article

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූපගත කිරීම් තියෙනවා. ඒ වගේම වේදිකාවේ වැඩ කටයුතු කිහිපයක් නිසාම මේ දවස්වල කාර්යබහුලයි. "ජෝඩු, ජෝඩු" වේදිකා නාට්‍ය සහ "චරිතේ හොරු අරන්" වේදිකා නාට්‍ය මේ දවස්වල වේදිකාගත වෙනවා. ඊට අමතරව "සාදය මාරයි සල්ලි හමාරයි" පෙර පුහුණු කටයුතු සිදුවෙනවා.

"සාදය මාරයි සල්ලි හමාරයි" ටික දවසක් නැවතිලා තිබුණා නේද?

ඔව්. ටික දවසක් නාට්‍ය නැවතුණේ නාට්‍යයේ ලලනිගේ චරිතය රඟපෑව ජයනි විදෙස්ගත වූන නිසා. ජයනි එයාගෙ පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස් ගත වුණා.අලුත් කෙනෙක් ඇවිත් පුහුණු වීම් කළ යුතු නිසා නාට්‍ය ටික දවසකට වේදිකා ගත වෙන්නේ නැහැ.

ජයනි සේනානායකගේ අඩුව තමයි ඔබ පුරවන්න ලෑස්ති වෙන්නේ?

ජයනි යන්න කලින්ම ධර්මප්‍රිය ඩයස්ට මාව යෝජනා කරලා තිබුණා. "චමිලා තමයි මේ චරිතයට ගැළපෙනම කෙනා" කියලා ජයනි කියලා තියෙනවා. ඉතිං ඒ නිසාම ජයනි වෙනුවෙන් ජයනිගේ කොටස මම භාර ගත්තා.

ජයනිගේ යෝජනාවද ධර්මප්‍රිය ඉෂ්ට කරලා තියෙන්නේ?

ආරාධනාව ගෙනාවේ ධර්මප්‍රිය ඩයස් අයියා. එයා ගෙදරටම ඇවිල්ලා මට නාට්‍යයේ රඟපාන්න ආරාධනා කළා. ඒ වගේම ඩයස් අයියා මට කිව්වා "නාට්‍යයට දර්ශන තියෙනවා, මිනිස්සු බලනවා, මේ නාට්‍ය තුළ යමක් කරන්න පුළුවන්" කියලා. ඒ නිසා මම ලලනිගේ චරිතය භාරගත්තා.

වෙනත් කෙනෙක් රඟපෑ චරිතයක් රඟපාන්න පහසුද?

මම හිතන්නේ පහසුයි. මොකද ජයනි නාට්‍යයේ අන්තිමට රඟපෑ දවසේ මම නාට්‍යය බලන්නත් ගියා. ජයනි තමයි කිව්වේ ඇවිල්ලා නාට්‍ය බලන්න කියලා. නාට්‍යයේ චරිතය කියන එක ගැන අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ. ජයනි එකක් කළා. මම තවත් එකක් කරයි.

ප්‍රේක්ෂකයෝ ඔබෙන් ජයනිව බලාපොරොත්තු වෙයිද?

ජයනි ලලනිගේ චරිතය හොඳින්ම රඟපෑවා. ඇය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානය පවා දිනා ගත්තා. මම දකින තැන ඉඳලා මම ලලනි කියන චරිතය නිර්මාණය කරනවා. ලෝකය පුරා සිනමාවේ, වේදිකාවේ එකම චරිතය විවිධ අය රඟපාලා තියෙනවානේ. මේකත් ඒ වගේ දෙයක්. ඒ ගැන ප්‍රේක්ෂකයන්ට නිසි අවබෝධයක් තියෙනවා.

ඔබ රංගනයේදී චරිත මාරුවීම සඟවා ගන්නේ කොහොමද?

ඒක අමුතුවෙන් හිතන්න ඕනෑ දෙයක් නෙවෙයි. ජයනි ලලනි කියන චරිතයට තමා තුළින් එන දැක්ම හරහා දෙයක් කළා. මාත් එහෙමයි. කොහොමත් ජයනි එක්කෙනෙක්. මම තවත් කෙනෙක්. චරිතයේ දෙබස්වත්, රඟපාන ක්‍රමයවත් වෙනස් නෑ. නමුත් ඉදිරිපත් කිරීම වෙනස් වෙයි. ඒක වේදිකාවට සමීප අය හොඳින්ම තේරුම් ගනියි.

වේදිකා නාට්‍ය සමඟ රට වටා යන්න කාලය කැප කරන්න පුළුවන්ද?

මම හිතන්නේ අනෙකුත් සියලු වෘත්තීන් එක්ක ගත්තාම මගේ වෘත්තිය බොහොම නිදහස්. අනෙක් අය තමන්ගේ රාජකාරියට බැඳිලා ඉන්නවා. නමුත් මට එහෙම අවශ්‍ය නැහැ. මට අවශ්‍ය නම් අයින් වෙන්න පුළුවන්. මගේ වෙලාව දෙන්නේ මම. මට මගේ කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා කැපවීමේ ගැටලුවක් නැහැ.

එතකොට කාර්යබහුල රංගන ශිල්පිනියකට යුතුකම් මඟඇරෙනවා කියන කතාව බොරුවක්ද?

ඔව්. ඒක බොරුවක්. මම කලින් කිව්වා වගේම එහෙම වෙන්නේ නෑ. කෙනෙක් හිතනවා ගුරුවරියක් වුණා නම් හොඳයි. උදේ හතට ගිහින් හවස දෙකට එන්න පුළුවන් කියලා. නමුත් එයා දෙකට ගෙදර ඇවිල්ලත් වැඩ කරනවා. මට එහෙම නෑ. මම ගියා රඟපෑවා. ආවට පස්සේ මම රඟපාන්නේ නෑ. එතකොට ඉන්නේ පවුලේ අය එක්ක විතරයි.

චමිලා පීරිස්ට වැඩ පෙන්වන්න තරම් චරිත ලැබිලා තියෙනවද?

මට එහෙම චරිත ලැබිලා තියෙනවා. මට එවැනි චරිතවලට සම්මාන පවා ලැබුණා. මට රඟපාන්න චරිත නෑ නෙවෙයි. දැන් මිනිස්සු ටෙලි නාට්‍ය සියල්ල බලන්නේ නෑ. දැන් ඉන්න ප්‍රේක්ෂකයෝ තියෙන එකක් බලන තැනට වැටිලා ඉන්නේ. ඉතිං ඒ අයට හොඳ නිර්මාණ මඟහැරෙනවා.

මිනිස්සු ඒ තැනට පත්වීමේ වරද කාගේ වෙන්න ඇතිද?

ඒක මේ කලාවෙම වරදක්.
අද නාලිකා බර ගාණක් තියෙනවා. සතියකට මම හිතන්නේ ටෙලි නාට්‍ය එකසිය පනහක්වත් පෙන්වනවා ඇති. ඒ අතරේ විදේශීය නාට්‍යයත් යනවා. ඒ නිසා මිනිස්සුන්ට තෝරා ගැනීම් ගොඩක් තියෙනවා.

තමන්ගෙම කියලා වැඩක් කරන්න අදහසක් නැද්ද?

ඇත්තටම අදහසක් තියෙනවා.
අපි සහෝදර ශිල්පියෝ පහක් එකතුවෙලා අලුත් වැඩක් කළා. තිරපිටපත ලිව්වේ මගේ සැමියා නාමල් ජයසිංහ. මේ නාට්‍යයේ නම "සහෝදරයා". නාට්‍ය ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි.

හංසි ආටිගල_මව්බිම
ඡායාරූප - අමිත තෙන්නකෝන්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සාදය මාරයි සල්ලි හමාරයි ලලනි මාරු වෙයි "

    Post a Comment