04 August, 2017

ආදම්ව මැවීමේ සිතුවමේ සැඟවුණු විද්‍යාව



ලොව විශිෂ්ටතම චිත‍්‍ර ශිල්පියා ලෙස නම් කර ඇති මයිකල් ආන්ජිලෝ විසින් සිය ජීවිත කාලය තුළ නිර්මාණය කර ඇති සිතුවම් රැුසක් වන අතර ලෝක ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන් සීමිත ප‍්‍රමාණයක් පමණි. ඒ අතරින් ඇපොස්ටලික් මන්දිරය හෙවත් වතිකානුවේ සිස්ටින් චැපල් මන්දිරයේ සිවිලිම මත නිර්මාණය කර ඇති සිතුවම් ඔහුගේ විශිෂ්ට නිර්මාණ ලෙස හඳුන්වා දිය හැකිය. සිස්ටින් මන්දිරයේ ඇති සිතුවම් අතරින් ද ඉතාම ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ක‍්‍රියේෂන් ඔෆ් ඇඩම් Creation of Adam නොහොත් ආදම්ව මැවීම නම් වූ සිතුවමයි.

මෙය 1512 වසරේ පමණ අඳින ලද්දක් වූ අතර ඉන් දෙවියන් වහන්සේ විසින් පළමු වරට මිනිසෙකු නිර්මාණය කිරීම නිරූපණය වන බව විචාරකයෝ පවසති.

දෙවියන් වහන්සේ විසින් මවන ලද ප‍්‍රථම මිනිසා ‘ආදම්’ ලෙසත් ආදම්ගේ අස්ථි කොටසක් භාවිතයෙන් ‘ඒවා’ නම් වූ කාන්තාව මවා ඇති බවත් අප අසා ඇත්තෙමු. මේ අනුව ආන්ජලෝ විසින් නිර්මාණය කර ඇති ආදම් මැවීමේ සිතුවමේ දැක්වෙන්නේ ආදම් නම් වූ ලොව පළමු මිනිසාට ජීවය ලබා දෙන අවස්ථාව බව සිතිය හැකිය. ආන්ජලෝගේ සිතුවම් සහ නිර්මාණ බොහොමයක් විද්‍යාව සමග සමීප සබඳතා සහිත නිර්මාණ බව විවිධ කාල වකවානුවල වාර්තා විය. ආදම් මැවීමේ සිතුවම ද එවැනි විද්‍යාවට සමීප නෑකම් කියන සිතුවමක් ලෙස හඳුන්වා දිය හැකිය.

මෙම සිතුවමෙහි වම් පස දැක්වෙන්නේ ආදම් නම් වූ ලොව පළමු පුද්ගලයාය. ලේ, මස්, නහරවලින් නිර්මාණය වූ මෙම පුද්ගලයාට ජීවය ලබා දීම සඳහා දෙවියන් වහන්සේ යොදා ගත් ක‍්‍රමෝපාය මෙම සිතුවමෙහි මැනවින් පැහැදිලි කර තිබේ. මෙම සිතුවමෙහි දෙවියන් වහන්සේ ලෙස දක්වා ඇත්තේ සුදු පැහැ දුහුළු ඇඳුමකින් සැරසුණු රුවය. රූපයේ ඇඳුම් සහිතව සිටින බැවින් අනිත් පුද්ගලයන් අතර විශේෂත්වයක් එම රූපයේ ලබා දී තිබේ.

දෙවියන් වහන්සේට පිටුපසින් මිනිස් රූප කීපයක් දක්වා ඇති අතර සිතුවම් පිළිබඳ විචාරකයන් පවසන්නේ මෙම මිනිස් රූ සියල්ල එකට එක් කළ විට නිර්මාණය වී ඇති හැඩය මිනිස් මොළය ව්‍යුහාත්මක වශයෙන් ඉතා නිවැරදිව දක්වා ඇති බවයි. එමෙන්ම මිනිස් රූ වෙන් වෙන්ව සලකා බැලීමේ දී මොළය තුළ ඇති මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, පිටියුටරි ග‍්‍රන්ථිය, වැරෝලි සේතුව, සුෂුම්නා ශීර්ෂකය ආදියද වෙන් කර හඳුනා ගත හැකි බවයි.

දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පිටුපසින් සිටින මිනිසුන් ආවරණය වී ඇති රතු පැහැති ආවරණය කාන්තා ගර්භාෂයක හැඩය ගන්නා බවට ද මතයක් තිබේ. නමුත් එහි සත්‍ය අසත්‍ය බව පැහැදිලි නැත. එමෙන්ම මෙම මිනිස් පිරිසට යටින් කොළ පැහැති සේලයක් වැනි යමක් තිබෙනු දැකිය හැකිය. සිතුවම් පිළිබඳ විචාරකයන් පවසන්නේ මයිකල් ආන්ජෙලෝ මෙම නිර්මාණයෙන් ඉදිරිපත් කර ඇති ජීවය ලබා දීම නම් සංකල්පය තව දුරටත් සාක්ෂාත් කිරීම සඳහා ‘පෙකණිවැල’ එසේ නිර්මාණය කර ඇති බවයි.

එසේම මෙම සිතුවමෙහි ඇති සුවිශේෂී අඩුපාඩුවක් පිළිබඳව ද විචාරකයන් පෙන්වා දෙති. එනම් ආදම් යනු දෙවියන් විසින් මවන ලද පුද්ගලයෙකු නම් හෝ මව් කුසින් උපත නොලැබූ පුද්ගලයෙකු නම් ඔහුට නාභියක් තිබෙන්නේ කෙසේද යන්න පැටලිලි සහගත බවයි.

මේ පිළිබඳව වැඩිදුර තර්ක කරන විසි වන සියවසේ සිතුවම් විචාරකයන් පවසන්නේ මයිකල් ආන්ජෙලෝ මෙම සිතුවම නිර්මාණය කර ඇත්තේ මිනිස් සිරුරේ විද්‍යාත්මක ක්ෂේත‍්‍රය පිළිබඳව කිසිම දැනුමක් නොමැතිව බවය එවැනි දැනුමක් තිබුණේ නම් ඔහු ආදම්ගේ උදරය මත නාභියක් ඇඳිය යුතු නැති බවයි.

දුලංජලී මුතුවාඩිගේ (සමුදුර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදම්ව මැවීමේ සිතුවමේ සැඟවුණු විද්‍යාව"

    Post a Comment