26 August, 2017

සඳැස් කවියට තැනක් දෙමු

poet
තාලයට ගායනා කළ හැකි ශබ්ද මාධුර්යයෙන් යුතු සිංහල සිව්පද කවි සම්ප්‍රදාය යල් පැනගිය හනමිටියක් ලෙස සළකා බණමඩුවට පමණක් සීමා කර තැබීම අපරාධයකි.

සිංහලයාගේ හද ගැස්ම සිංහල කවියයි. විජිත පුර සටනට යද්දී ද ගැමුණු කුමරුගේ සේනාව සටන් පාඨ කවි ගායනා කළ බව පැවසේ. ‘ රුපුන් සොයා යව් විරුවනි! රුපුන් සොයා යව්! සමු එඩි වනසව්! හතුරා ලුහුබැඳ වනසව්! වැනි රණ ගී එදා ගැයෙන්නට ඇතැයි සිතිය හැකිය.

මුනිදාස කුමාරණතුංග කවියා සිංහල භාෂාව සංස්කෘත බලපෑමෙන් මුදා මටසිළිටි වදන් රැසක් නිර්මාණයය කරමින් කවියද නව මඟකට ගත්හ. එහෙත් සිව් පද ශෛලියට කිසිදු ගැහැටක් කළේ නැත. හේතුව සිව්පදය යනු කවිය ලෙස තිබූ ජාතික පිලිගැනීමය. මේ මහා පිළිගැනීම හමුවේ හිස නොනැමූ නිසඳැස් කවි කුලය හෙළ කවිය බටහිර කවි ශෛලිය හා ගැටගසන්නට ගත් උත්සාහය නූතන කවිය තුළින් මනාව දිස්වේ.

සිව්පද කවියට පණදුන් ප්‍රබලම ප්‍රකාශකයා ලේක්හවුස් ආයතනය විය. දිනමිණ, සිළුමිණ, නවයුගය - ජනතා වැනි පුවත්පත් සඟරා හරහා සමාජය හමුවට පැමිණි කවියෝ සිය ගණනක් අද ද ජීවතුන් අතර වෙති. දවස ආයතනයේ ගීතාංජලී පත්‍රයද මෙතනදී සිහියට එයි. ටයිම්ස් සිංහල පුවත්පත් ද සිව්පද කවිය අගය කළ අතර හෙළ හවුළ කෙරේ පක්ෂග්‍රාහී විය.

මහානාම දිසානායක වැනි කවියෝ රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු වැනි හෙළ හවුල් ප්‍රබලයන්ට ලංකාදීපයෙහි ඉඩ හසර ලබා දුන් ආකාරය අපට මතකයි. නිසඳැස කෙතරම් ඉදිරියට පැමිණියත්, ගලප්පත්තිලා , කොඩිතුවක්කුලා දහසක් බිහිවුනත් සිව් පද කවිය අදත් සිංහල කවියේ ජීවමානව නිවේදනය වේ. කොළඹ කවිය ලෙස නම් ලද නූතන සිංහල, සිව්පද කවිය පී.බී.අල්විස් පෙරේරා වැන්නන් හරහා ගමතුළ කළ රඟපෑම, සදානුස්මරණීය නොව සදා අමරණීය එකකි. අදත් ඒ කවි සුවඳ ඔස්සේ රසවත් වන ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස් පත්‍රයක් සඟරාවක් අතට ගත් සැණින් සිව්පද කවි පෙළ කරා යොමුවීම සිරිතකි.

...අන්තර්ජාල කවි බිම් මට්ටමට පැමිණීම තුළ පැරණි සිව්පද කවිය අතරමං වී නැත.

සයිබර් අවකාශයෙ නව කවීත්වය සටහන් කිරීමට අද බිහි වන සිව්පද කවියාට වුවද එතරම් අවශ්‍යතාවයක් නොවේ. සිව්පදය ජනප්‍රියය. කවි මඩුව තවම ගමේ ප්‍රියතම රසාංගයකි, සිව්පද කවියට අදක්ෂයාට කවි මඩුවේ තැනක් නැත.

කවි මඩුව යළි ජනප්‍රියම ග්‍රාමීය රසාංගය බවට පත් වෙමින් පවතී. දැන් දැන් කවි මඩු සංවිධානය කිරීම් ගම්බද උණුසුම් ප්‍රවණතා අතරට පත්වී තිබේ.

සිව්පද කවිය ඉදිරියට ගෙනා නිර්මාණ සංග්‍රහය වැනි සාම්ප්‍රදායික කවිය අගය කළ විශේෂාංග යළි ආරම්භ වන්නේ නම් ගමේ කවි කැකුළු පිපෙන්නට ඉඩ ලැෙබ්.

නව ප්‍රවණතා ග්‍රහණය කළ නූතන පුවත්පත් කලාව තුළ පිපෙන්නට සැරසෙන ග්‍රාමීය කවි කැකුළු මිලින වන බවක් පෙනී යයි. මේ තත්ත්වය සමනය කරලීමට පුවත්පත් බලධාරීහු පියවර ගන්නේ නම් මැනවි.

කිරිළිපනේ - පියදාස මුණසිංහ (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සඳැස් කවියට තැනක් දෙමු"

    Post a Comment