26 July, 2017

තේරීම් කමිටුව දෙලොවක් අතර

Rangana Herath - Angelo Mathews

වසරක් ඇතුළතදී දෙවැනි වතාවටත් ලෝකයේ අංක එකේ ටෙස්ට් පිල හමුවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දෙලොවක් අතර අතරමංවී සිටී. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඕස්ටේ්‍රලියානුවන් හමුවට යාමේදී විචිකිච්ඡාවකින් තොරවම දඟ පන්දු යවන්නන් සමගින් ඉදිරියට ගියද ඉන්දීය පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී තමන් යා යුතු මාවත සොයාගත නොහැකිව තේරීම් කමිටුව මෙන්ම කණ්ඩායමේ නායකයාත් විපිළිසරව සිටී.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ටෙස්ට් නායක රංගන හේරත් විනාඩි 14 ක් පමණ කතා කළත් ඉන්දියාවට එරෙහිව පිටියට ගෙන්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව නිශ්චිත යමක් ප්‍රකාශ නොකළේය. හේරත් නිශ්චිතව කීවේ අසේල ගුණරත්නට නැවතත් පන්දු යැවීමේ හැකියාව පවතින බව පමණි.

දිගු කලක් තිස්සේ 7 : 4 අනුපාතය ඇතිව (පිතිකරුවන් 7 යි : පන්දු යවන්නන් 4 යි) ටෙස්ට් තරග සඳහා පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන්දීය පිතිකරුවන්ගේ ශක්තිය කොතෙක්ද යන්න මැන බලමින් සිටී. කණ්ඩායම තෝරාගැනීමට සූදානම් වන්නේ ඒ අනුවය.

“අපේ සංයුතිය මොන වගේ එකක්ද කියලා අපි බලන්න ඕනේ. එක හොඳ දේකට තියෙන්නේ අසේල දැන් සාමාන්‍ය තත්ත්වයට ඇවිත් ඉන්නවා. එයාටත් පන්දු යවන්න පුළුවන්” යයි කී රංගන හේරත්.

“තරගාවලිය අපේ රටේදී පැවැත්වීමේ වාසිය උකහා ගන්න අපි බලනවා. ඒත් එතැනදී අපි වැඩිපුරම හිතන්න ඕනේ කණ්ඩායම් දෙකේ ඉන්න එක් එක් ක්‍රීඩකයන්ගේ හැකියාවන් මොනවාද කියලයි...කොහොම වුණත් අපි ක්‍රීඩා කරන්න යන්නේ ලෝකයේ අංක 1 කණ්ඩායම එක්කයි” යයිද පැවසීය.

අසේල ගුණරත්නත් පන්දු යවන්නකු වශයෙන් සලකනු ලැබුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවන්නන් පස් දෙනකු ඇතුළත් වීමේ ඉඩක් පවතී. එහෙත් විශේෂඥ පන්දු යවන්නන් පස්දෙනකු සහ පිතිකරුවන් හය දෙනකු සමගින් තරගයට යාමේ අවදානම කොතෙක්ද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දනී.

බරපතළම තීන්දුව විය හැක්කේ ලොව හොඳම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් කණ්ඩායමේ සිටියදීත් වමතින් දඟ පන්දු යවන තවත් ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කරනවාද නැත්ද යන්නයි. ටෙස්ට් සංචිතයට අලුතෙන් එක්වූ මාලින්ද පුෂ්පකුමාර වමතින් දඟ පන්දු යවන්නෙකි.

ගතයුතු තීරණය වන්නේ දඟ පන්දු යවන්නන් දෙදෙනකු (රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා) සමග වේග පන්දු යවන්නන් දෙදෙනකු සමගින් තරග කරනවාද නැතහොත් දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ වේග පන්දු යවන්නකු සමගින් තරග කරනවාද යන්නයි. මෙහිදී සිතන්නට ඇති එකම කාරණාව වන්නේ ඉන්දිය පිල සතු වමත් පිතිකරුවන් සංඛ්‍යාවයි.

ඉන්දීය පිතිකරු ලයිස්තුවේ ඉදිරිපෙළ 8 දෙනා අතර වමත් පිතිකරුවන් වන්නේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ෂිකාර් ධාවන්, අභිනව් මුකුන්ද් පමණි. ස්ථාවර ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් අසනීපව සිටින බැවින් මෙම තරගයට සහභාගි නොවේ. අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන ටෙස්ට් තරග දෙස ආපසු හැරී බැලුවහොත් වේග පන්දු යවන්නන් දෙදෙනකු ටෙස්ට් තරගයකට කුමකටද යන්න සිතුණ අවස්ථාද එමටය. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ අවස්ථා තුනකදීම නව පන්දුව බාරගැනීමට සිදුවූයේ රංගන හේරත්ටය.

රංගන හේරත් පුවත් පත් සාකච්ඡාවේදී කියා සිටියේ තමන් ටෙස්ට් පිටියෙන් සමුගත්තත් නැතත් මාලින්ද පුෂ්පකුමාරගේ ස්ථානය මෙම තරගාවලියේදී ඔහුට ලැබෙනු ඇති බවයි. මේ වන විට පළමු පෙළ තරග 99 කට සහභාගි වී ඇති මාලින්ද පුෂ්පකුමාර විසින් දවාගන්නා ලද පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 558 කි. යම් හෙයකින් හෙට තරගයේදී මාලින්දට ටෙස්ට් හිස්වැස්ම හිමිවුවහොත් එය ඔහුගේ 100 වැනි පළමු පෙළ තරගය මෙන්ම මංගල ටෙස්ට් තරගයද වනු ඇත.

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා දින කිහිපයකට පෙර පවසා තිබුණේ රංගන හේරත් විශ්‍රාම යාමෙන් පසුව ඔහුගේ තැන ගැනීමට සුදුස්සා මාලින්ද පුෂ්පකුමාර බවයි.

“මා ඒ සම්බන්ධයෙන් 100 % ක් එකඟ වෙනවා. එයා පළමු පෙළ කඩුලු 500 කට වැඩියෙන් දවාගත් ක්‍රීඩකයෙක්. පන්දු යවන්නකු වශයෙන් ඔහුට තියෙන හැකියාව ඒකෙන්ම සනාථ වෙනවා. මා විශ්‍රාම ගත්තත් නැතත්, වමත් දඟ පන්දු යවන්නකු වශයෙන් අපට සිටින දෙවැනි තෝරාගැනීම ඔහුයි” යයි කී රංගන හේරත්..

“අපි තාමත් තීරණයක් අරගෙන නෑ. තවත් තේරීම් කමිටු රැස්වීමක් තියෙනවා. බොහෝ වෙලාවට අද හවස නැත්නම් හෙට උදේ අපි තීරණයක් ගන්නවා” යයිද පැවසීය.

පන්දු යවන්නන් පිළිබඳ තත්ත්වය එසේ වුවත් කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවේ වෙනසක් සිදුවීම නිශ්චිතය. වෛරස් උණ රෝගයට ගොදුරුව සිටින දිනේෂ් චන්දිමාල් මෙම තරගයට ක්‍රීඩා නොකරන හෙයින් ඔහුගේ ස්ථානය වෙනුවෙන් ධනංජය ද සිල්වාට සහ ධනුෂ්ක ගුණතිලක සංචිතයට එක්වී සිටිති.

අද තරගය සඳහා ධනුෂ්ක ගුණතිලකට වැඩි වාසි ඇත්තේ පුහුණු තරගයේදී ධනංජය ද සිල්වා ලකුණු නොලබා දැවී යාම හේතුවෙනි. එම තරගයේදී ධනංජය මුහුණ දුන්නේත් පන්දු 3 කට පමණි. එහෙත් එම තරගයේදීම පන්දු 97 කින් ලකුණු 74 ක් ලබාගත් ධනුෂ්ක ගුණතිලකගේ අවසන් අන්තර්ජාතික ඉනිම තුන සටහන් වන්නේ ලකුණු 74ක්, 52 ක් සහ 87 ක් වශයෙනි.

අද ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවේ වසර 35 ක ටෙස්ට් ඉතිහාසයේ 260 වැනි තරගයයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 38 න් තරග 16 ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 7 ක් පමණි. ශ්‍රී ලංකාව ජයගත් තරග 7 ම ශ්‍රී ලංකාවේදී පැවැති තරග වන අතර ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ජය වාර්තා වූයේද 1985 දී ඉන්දීය පිලට එරෙහිවය.

ලෝක ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානය හිමි ඉන්දියාව සතුව ප්‍රසාද ලකුණු 123 ක් තිබේ. එම ලයිස්තුවේ 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සතුවන්නේ ලකුණු 92 ක් පමණි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

# රංගන හේරත් (නායක), # උපුල් තරංග, # දිමුත් කරුණාරත්න, # කුසල් මෙන්ඩිස්, # ඇන්ජලෝ මැතිව්ස්, # අසේල ගුණරත්න, # නිරෝෂන් දික්වැල්ල, # ධනංජය ද සිල්වා, # ධනුෂ්ක ගුණතිලක, # ඩිල්රුවන් පෙරේරා, # සුරංග ලක්මාල්, # ළහිරු කුමාර, # විශ්ව ප්‍රනාන්දු, # මාලින්ද පුෂ්පකුමාර සහ # නුවන් ප්‍රදීප්.

ඉන්දීය ටෙස්ට් සංචිතය

 #විරාට් කෝලි (නායක), # ෂිකාර් ධාවන්, # අභිනව් මුකුන්ද්, # චෙටේස්වාර් පුජාරා, # අජින්ක්‍ය රහනේ, # රෝහිත් ෂර්මා, # රිදිමන් සහා, # හර්දික් පාණ්ඩ්‍යා, # රවීන්ද්‍ර ජදේජා, # රවිචන්ද්‍රන් අශ්වින්, # කුල්දිප් යාදව්, # මොහොමඞ් සාමි, # ඊෂාන්ත් ෂර්මා, # බුවනේෂ්වර් කුමාර් සහ # උමේෂ් යාදව් (කෙළිමඬල)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තේරීම් කමිටුව දෙලොවක් අතර"

    Post a Comment