22 January, 2017

ඝනරන් දේව ප්‍රතිමාවක් කොළඹ - මීගමුව පාර අද්දර වළ දමලා

statue-unearthed

රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා ඝනරන් දේව ප්‍රතිමාවක් ජා ඇල, දඬුගම ප්‍රදේශයේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අද්දර තෙත් බිමක වළලා ඇති බවටත් මේ දිනවල කිසියම් පරිසක් එම තෙත්බිම පීරමින් එය සෙවීමට වෙරදරණ බවටත් ප්‍රදේශය පුරා කතා පැතිරෙමින් පවතී.

උතුරු ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජාවස්තුවක් සේ කලාන්තරයක් සුරැකිව තිබූ මෙම දේව ප්‍රතිමාව පසුගිය යුද සමයේ එහි ආරක්ෂාව තකා කොළඹට ගෙන ගෙනඑමින් තිබූ බවත් ඒ අතර එය එම තෙත් බිමේ වළලා ඇති බවත් ප්‍රදේශ වාසීහු කියති.

එම සිද්ධිය සම්පූර්ණයෙන් මෙසේය;

උතුරේ හින්දු කෝවිලක පූජා වස්තුවක් වශයෙන් කලාන්තරයක් සුරක්ෂිතව තිබූ රන්වලින් තනා ඇති මෙය උසින් අඩි තුනක් පමණවෙයි. එහෙත් පසුගිය යුද සමයේ එම ප්‍රදේශයට නිරන්තර හමුදා ප්‍රහාර එල්ලවීම මත එම ප්‍රතිමාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව වටහා ගත් එම කෝවිලේ භාරකාරත්වය පළමුව එය වනගත මඟක් ඔස්සේ මන්නාරමට ගෙන ගොස් පසුව මුහුදු මාර්ගයෙන් කල්පිටියට රැගෙන ගියහ. ඉන්පසු කොළඹ ඇති ප්‍රධාන හින්දු කෝවිලක සුරක්ෂිතව තැන්පත් කිරීම පිණිස ගොඩබිම් මාර්ගයෙන් එය කොළඹ බලා රැගෙන එන අතරේ ඒ පුවත රජයේ බුද්ධි අංශ වෙත සැලවී ඇති බවක් ඔවුනට දැන ගන්නට ලැබී තිබේ. 

ඔවුන් මෙය එක්තරා රාත්‍රියක ජා ඇල දඬුගම පිහිටි ඉහත කී තෙත්බිමේ වළලා දමා ඇත්තේ එබැවිනි. කෙසේ හෝ ඊට මඳ කලකට පසුව මෙම දේව ප්‍රතිමාව පිළිබඳ වෙනත් පිරිසකට දැන ගන්නට ලැබී තිබේ. ඒ වනවිට එය වළලා ඇති ස්ථානය නැවත කැලයෙන් වැසී තිබූ අතර කණ්ඩායම් වශයෙන් පැමිණ ඔවුන් එම තෙත්බිම පරික්ෂා කිරීමට පටන් ගෙන ඇත. මෙය කටින් කට ගොස් මුලු ප්‍රදේශය පුරාම පැතිර ගිය ආරංචියක් වූයේ එබැවිනි. එහෙත් මෙම පුවතෙහි සත්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ බැවින් අපි ඒ පිළිබඳව දඬුගම ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ගම්වැසියකු සේම හිටපු කැබිනට් අමාත්‍යවරයකුද වූ ෆීලික්ස් පෙරේරා මහතාගෙන් විමසා සිටියෙමු.

“ඔය දේව ප්‍රතිමාවේ කතාව මට මුලින්ම ආරංචි වුණේ මීට අවුරුදු දොලහකට පහලොවකට විතර කලින්; ඒ වගේම එක එක හේතු දක්වමින් ඔය වගුරුබිම හාරන්න එක එක පිරිස් උත්සාහ කළා. අන්තිමේ මේ කලබැගෑනිය බේරන්න බැරුව මම එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වගේම එවක සිටි පොලිස්පතිතුමාටත් මේ බව දැනුම් දුන්නා. අන්තිමේ මේ තෙත් බිම බේරා ගන්න ජනාධිපතිතුමියගේ නියමයෙන් පොලිස් මුර පවා දාන්න සිද්ද වුණා. ඔය අතරේ එක් පාර්ශවයක් මගෙන් ඉල්ලීමක් කළා; ඔය තෙත් බිමේ සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න ඉඩ දුන්නොත් මට රුපියල් ලක්ෂ දෙසියක් දෙනවා කියලා; එතකොට මට තේරුණා මේ අයගේ ඇත්ත අරමුණ මොකක්ද කියන එක ගැන. ඒ නිසා මම ඒ මුදල ප්‍රතික්ෂේප කළා.”

හිටපු අමාත්‍යවරයා කීය.

එහෙත් ඒ සම්බන්ධයෙන් ජා ඇල ප්‍රදේශවාසීන් කියනුයේ මෙවන් කතාවකි.

“දැන් සති කිහිපයක ඉඳලා ඔය කියන ඉඩම තහඩුවලින් වහගෙන කිසියම් පිරිසක් මුල්මනින්ම නීති විරෝධී විදිහට ඔය ඉඩම ඇතුලේ මොකක් හරි දෙයක් කරනවා. ඒවගේම ඒක දවසකට පස් ටිපර් සිය ගණනක් ඔය ඉඩමට යනවා; ඒ අනුව ඒක අනවසර ඉඩම් ගොඩකිරීමක් බව පේනවා. නමුත් ඊට කලින් බැකෝ යන්ත්‍ර වලින් මේ තෙත් බිමේ හැම අඟලක්ම පරික්ෂා කරනවා කියලත් රාවයක් තියනවා. ඒ මිනිස්සු ඒ සම්බන්ධයෙන් පගාව දිය යුතු හැමෝටම පගාව දීලාලු; ඒ පැත්තේ සමහර ත්‍රීවිලර් ඩ්‍රයිවර්ලට පවා ප්‍රසිද්ධියේම රුපියල් පන්දාහ ගානේ සන්තෝෂම් දෙනවා; ඒ අනුව ඔවුන් කරන මේ වැඩේ තුළත් ඔය දේව ප්‍රතිමාව සම්බන්ධ ලොකු අබිරහසක් තියන බවයි අපිට නම් හැ‍ඟෙන්නේ.

ප්‍රසංග පෙරේරා - ජා ඇල - ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඝනරන් දේව ප්‍රතිමාවක් කොළඹ - මීගමුව පාර අද්දර වළ දමලා"

    Post a Comment