20 July, 2017

ගොඩ්සිලා මා වෙනස් කළා

gareth gaudin
ගැරෙත් ගෞදින්

ඉමහත් ජනාදරයට පත් වීර කතා රචකයකු සහ ලන්ඩන් හි ඉතාමත් ම ජනප්‍රිය පොත් සාප්පුවක් වන ‘Legends Comics and Books’ හිමිකරු වන ගැරෙත් ගෞදින් සමඟ, AbeBooks.com වෙබ් අඩවිය මඟින් සිදු කරන ලද සාකච්ඡාවක පරිවර්තනයකි මේ. මොහු කුඩා කල සිටම වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන්නකු වන අතර, ඕක් බේ උසස් අධ්‍යාපන ආයතනයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

වීර කතා කෙරෙහි තිබෙන ඇල්ම සහ එහි අතීතය කෙබඳු ද කියලා ඔබට කියන්න පුළුවන්ද ?

1978 ඔක්තෝබර්වලදී මම මුලින්ම වීර කතා ඇතුළත් පොතක් මිලදී ගත්තා. එහි නම ‘Godzilla’ එය කියැවීමෙන් පසුව මට වීර කතා පොත් පිළිබඳ කැමැත්තක්, උනන්දුවක් ඇති වුණා. ඒකට හේතුව, අවුරුදු පහක කුඩා ළමයකුට රාක්ෂයෙක්ව දකින්න ලැබුණේ හැමදාම ඉරිදා උදෑසන රූපවාහිනියේ විකාශනය වුණ ‘Monster Matinee’ ටෙලි කතාවේ පමණයි. එහිදීත් හිටියේ රූකඩ රාක්ෂසයන් විතරයි. ඒ කාලේ ගොඩ්සිලා වීර කතාව තමයි අලුත්ම පෙරළියක් ඇති කළ කතාවක් වුණේ. මගේ වීර කතා ලිවීමේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ ඒක.

පසු කලෙක මගේ වීර කතාවල මාධ්‍ය වුණේ ඩයි­ෙනා්සර්ස්ලා සහ රාක්ෂයන්.මගේ වීර කතා පොත්වලට පාදක වුණේ මේ අය. මම පාසල් යන කාලයේම පටන් ගත්තා මෙවැනි වීර කතා පොත් මිලදී ගන්න වගේම, විකුණන්න. පසුව මම පටන් ගත්තා මගේම වීර කතා චිත්‍ර අඳින්න සහ ඒවා ප්‍රකාශයට පත් කරන්න. අනතුරුව මම වීර කතා පොත් විකුණන පොත් සාප්පුවක රැකියාවක් හොයා ගත්තා. ඒ මගේ මේ වීර කතා පිළිබඳ පිස්සුව නිසාමයි.

‘Island Fantasy’ තමා ඒකාලයේ තිබුණු ලොකු ම වීර කතා පොත් සාප්පුව. 1992 සිට 1993 දක්වා මම එහි රැකියාව කළා.

ඉන් පසුව මම ‘Legend’ පොත් සාප්පුවේ රැකියාව ආරම්භ කළා. අවුරුදු 10කට පසුව ඔවුන්, එහි කොටස් මිලදී ගැනීමට මට අවස්ථාව ලබා දුන්නා . ලොයිඩ් චෙස්ලි කියන්නේ මගේ ව්‍යාපාරික සගයායි. එතැන් පටන් අද දක්වා මේ පැමිණි ගමන් මඟ විශාල කාලයක් වගේම, මගේ ජීවිතයට බොහෝ අත්දැකීම් ප්‍රමාණයක් එකතු වුණ කාලයක්.

ඔබ හිතන විදිහට වැඩියෙන්ම ජනප්‍රිය වූ ඔබේ පොත මොකක්ද ?

මම හිතන්නෙ ‘The Magic Teeth Dailies’ කියන පොතයි. එහි අඩංගු වුණු සුපිරි වීරයා, එහෙමත් නැත්නම් සුපිරි බුද්ධිමතා වුණු ‘The Perogy Cat’ චරිතයට බොහෝ දෙනා කැමැත්තක් දැක්වූවා. ඒ‍ වගේම බොහෝ අය එහි තිබූ වර්ණවත් චිත්‍රවලටත් කැමැත්තක් දැක්වූවා. මේ නිසා පාඨකයන් අතරට වේගයෙන් ඒ පොත ගියා.

ඔබ තවමත් පොත්වලට ආදරය කරනවා ද? ඔබ වැඩියෙන්ම ආදරය කරන පොත් මොනවාද?

මම බොහෝ ආදරය කරන පොත් මාලාවක් තමයි ජේ.ඩී.සලින්ජර්ගේ ‘කර්නල් වූල්රිච්’ නවකතා මාලාව. ඒ වගේම තවත් මම කැමැති පොතක් තමයි ‘රැකම් ගේ ‘Fairy Tale’ පොත්වලට. මීට අමතරව තවත් පොත් කිහිපයක්ම තියෙනවා. විවේක අවස්ථාවලදී මම මේ පොත් කියවන්න කාලය වෙන් කර ගන්නවා.

ඔබ වැඩියෙන්ම කැමැති චිත්‍රපට වීරකතා මොනවාද?

මම වැඩියෙන්ම කැමැති චිත්‍රපට වීර කතාව තමයි ඇලන් මූර් ගේ 'වොච්මෙන්' කියන කතාව. ඒක පාදක කරගෙන 1987දී නිර්මාණය වුණු ‘වොච්මෙන්’ චිත්‍රපටයට මම බොහෝ සෙයින් ම කැමැතියි.

ඉන් පසුව නිර්මාණය වුණ චිත්‍රපට වීරකතාවලටත් මම බෙහෙවින් ම කැමැත්තක් දැක්වූවා. ඒවා අතුරින් 'සුපර් මෑන්'කතාව විශේෂයි.

ඒ වගේම,හාවේ කර්ට්ස්මන් ගේ ‘ද ජන්ගල් බුක්’ කියන පොතත් මට කවදාවත් එපා වෙන්නේ නැති වගේම, අමතක වෙන්නේ නැති පොතක්. ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුණු හැම වීර කතා චිත්‍රපටවලට මම බොහොම කැමැතියි. මගේ පොත් ලිවීම සහ පොත් සාප්පුවේ වැඩ කරන කාර්යයන්ට අමතරව, මම මේ චිත්‍රපට නැරැඹීමටත් කාලය වෙන් කර ගන්නවා.

ඔබගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව මොකක්ද ? එසේත් නැතිනම් අමතක නොවන සිදුවීම?

එකොමික්ස්ලාගේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙන්න 2000 වසරේදී මට ආරාධනා ලැබුණා මට මතකයි . එහිදී මට අඩෙලේ කර්ට්ස්මන්, ජැක් ඩේවිස්, මයික් කලූටා, ජැක් කමෙන් වැනි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කතාබහ කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබුණා. එය මගේ හීනයක් සැබෑවීමක් හා සමානයි. ඔවුන් සමඟ කතාබහ කිරීමට ඒ ලැබුණු අවස්ථාවෙන් මං උපරිම ප්‍රයෝජන ගත්තා. මගේ වීර කතා පිළිබඳ වගේම, මං ගැනත් ඔවුන්ට පැවසුවා. ඒ වගේම ඔවුන් ‍මගෙනුත් බොහොමයක් විස්තර ඇහුවා. මම බොහොම සතුටින් ඒවාට පිළිතුරු දුන්නා. ඒ අවස්ථාව මගේ ලේඛන ජීවිතයේ මට උදාවුණු වැදගත්ම හා අමතක නොවන සිදුවීම ලෙස සඳහන් කරන්න පුළුවන්.

යශෝදා ඉන්දීවරී (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගොඩ්සිලා මා වෙනස් කළා"

    Post a Comment